ක්‍රෂ් වෙනයි ලව් වෙනයි

Share

ක්‍රෂ් එකක් කියන දේ විශ්වවිද්‍යාල ජීවිතේ ඇතුලෙ ගොඩක් හුරුපුරුදු වචනයක්. යාළුවො එකතු වුණාම ක්‍රෂ් එකක් ඉන්න යාළුවා වට කරගෙන හොඳට බයිට් කිරීම අපිට සතුටක් වන අතර යාළුවාට පොළොව පලාගෙන වලක් හාරාගෙන වැලලෙන්නට තරම් සිතෙනා අවස්ථාකි. ඒත් ඇත්තටම ක්‍රෂ් එකක් කියන්නෙ හැමවෙලාවෙම ලව් නොවන බව මාගේ හැඟීමයි. පාසල් කාලයේදී මටද ක්‍රෂ් එකක් සිටි බව මාගේ හැඟීමයි. ඒත් මා කිසි දිනක තේරුම් නොගත් ඒ අමුතු හැඟිමට ක්‍රෂ් කියන නම ලබා දුන්නේ කැම්පස් ආ පසුය.

ඔහු මාගේ පාසල් මිතුරෙකු නොවේ. ඔහු වෙනත් පාසලක් ඉගෙනුම ලැබූ අතර ඔහුව මා දුටුවේ මා සහභාගී වූ උපකාරක පන්ති වලදීය. නමුත් දැන් ඔහු මාගේ මිතුරෙකි. කිසිදිනක මා ඔහු සමඟ වචනයක්වත් කතාකර නොමැත. 10 වසරේදී මුලින්ම ඔහු දුටුවත් ඔහු මාගේ මිතුරෙකු වූයේ වසට 8කට පසුවය. එය ද සිදු වූයේ මුහුණු පොත නිසාය. මම ඔහුට කිසි දිනක ප්‍රේම නොකළෙමි. මා ඉස්සර ඔහුගේ නමට හිනාවට, කැරලි ගැසුණු කොණ්ඩයට, බළලෙකුගේ ඇස් වැනි දෙනුවන් වලට ඉතාමත් ප්‍රිය කළෙමි. ඒ නිසාම මා ඔහු දෙස බැලූ අතර කිසි දිනක ඔහුට එම කැමැත්ත නොපෙන්වීමට ද වග බලාගත්තෙමි.

ජීවිතය අපට විටෙක අප නොහිතනා දේ අපට තෑගි කරන බව මට සිතුණේ ඔහු මාගේ මිතුරෙකු මඟින් මාගේ  කැමැත්ත විමසා පණිවිඩයක් එවා තිබූ දිනයේදීය. ඒ මිතුරා මාගේ මෙන්ම ඔහුගේ ද මිතුරාය. සත්තකින්ම මට එය අදහාගත නොහැකි වූ අතර මා ඔහුගේ යෝජනාව ද කිසිදු සිතා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කළෙමි. ඒ මා සිතේ ඔහු කෙරෙහි ආදරයක් නොවූ නිසාය. මට කිසි දිනක ඔහුට ආදරය කිරීමට අවශ්‍යය නොවූ අතර මා සිතේ ඔහු ගැන තිබූ කැමැත්ත ආදරය නොවන බව ද මා දනිමි.

ඔහු සැබවින්ම අතීතයේ වැලලී ගිය ක්‍රෂ් එකක් පමණක්මය.ඔහු අදටත් ඔහු මාගේ ක්‍රෂ් එක වී සිටි බව නොදනී. කිහිප වතාවක් මාගේ කැමැත්ත විමසා පණිවිඩ එවූවත් මා ඔහුට අකමැති වූ නිසා ඔහු වෙනත් ගැහැණු ළමයෙකු සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගත් අතර මේ වන විට ඔහු ඇය සමඟ විවාහ ගිවිසගෙන සිටී. ඇත්තටම මා ඔහු ඒ ගත් තීරණය පිළිබඳ හදවතින්ම සතුටු වෙමි. මන්දයත් ඔහු කොපමණ කාලයක් බලා සිටියත් මා ඔහුට ප්‍රේම නොකරන නිසාය. ඔහුගේ බාහිර පෙනුමට මා සිතේ කැමැත්තක් ඇති වුවත් මා ඔහු සතු ගුණාංගයන් වලට කිසි දිනක ප්‍රිය නොකළෙමි.

ලව් වෙනයි ක්‍රෂ් වෙනයි ය. ඇතැම් විට ක්‍රෂ් එකම තමන්ගේ ආදරණීය පෙම්වතා හෝ පෙම්ව්තිය විය හැකිය. ඒත් ඒ බැඳිම සදහටම තිබීමට හෝ නොතිබීමට හැකිය. ක්‍රෂ් මෙන් ලව් බොලඳ දෙයක් නොවේ.ආදරය යනු එකිනෙකාව තේරුම් ගැනීම මත ගොඩනැගිය යුතු ආධ්‍යාත්මික බැඳීමකි. ආදරය ඇති වන්නේ බාහිර ආටෝපයන් මත නොව පුද්ගලයා මතය. අපි තව කෙනකුගේ සිනාවට පෙනුමට කැමති විය හැකි නමුත් සැම විටම එතන ආදරය නැත. ආදරය තුල ඉවසීම උපරිමයෙන් ඇත. ඔබ සැබවින්ම කෙනෙකුට ආදරය කරන්නේ නම් ඔබට එම පුද්ගලයාව ඉවසිය හැකිය, ඒ පුද්ගලයා වෙනුවෙන් කැපවිය හැකිය, ඒ ආදරය වෙනුවෙන් ජීවත් විය හැකිය.

ඔබ කෙනෙකුගේ ආදරය දිනා ගැනීම උදෙසා පමණක් අමාරුවෙන් සියල්ලම ඉවසා සිටී නම් එයා කැමති වුණාට පස්සෙ මට ඕන විදියට හදාගන්නවා වැනි දේ ඔබට සිතේ නම් කරුණාකර ඔහු හෝ ඇයව අමතක කර දමා ඔබට ගැලපෙන කෙනෙකු ආදරය කිරීමට සොයාගන්න. මන්දයත් ඔබේ ආදරය කිසිවෙටෙක අනෙකාට මානසික පීඩාවක් නොවිය යුතුය. ඔබ සිතින් මවාගෙන සිටින්නකු නිර්මාණය කිරීම උදෙසා නොව ජීවමාන චරිතයකට අර්ථයක් එකතු කිරීම උදෙසා ආදරය කරන්න. ආදරය යනු දහසක් ප්‍රශ්න හමුවේ හදවත් සනසන මායාවකි.

ක්‍රෂ් එක ඔබට කැමති නොවුවා කියා ඔබගේ ජීව්තයට ගැලපෙන ආදරය සොයා යාම නතර නොකරන්න. දිනක ඔබට ගැලපෙනම ආදරය හමු වේවී. එතෙක් ක්‍රෂ් ලව් පටලාගන්නේ නැතිව ජීවිතය  විඳිමින්  ඉදිරියටම ගමන් කරන්න. ප්‍රේමම් චිත්‍රපටය නැරඹූ විට ක්‍රෂ් වෙනයි ලව් වෙනයි ලෙස මා කියූ කතාවේ සත්‍යතාවක් ඇති බව තව දුරටත් ඔබට තේරුම් යනු ඇත. ආදරයට ජය.❤️✌️

Image Courtesy: https://www.theinsyder.com/wp-content/uploads/2014/10/love-vs-crush-COVER.jpg

 
Tagged : / / /