හිරු ය නුඹ මගෙ ලොවට

Share

අපි හැමෝගෙම ජීවිතේ වීරයෙක් ඉන්නවා. ඔව් මගේ හිතෙත් එහෙම කෙනෙක් ඉන්නවා.

මේ ලෝකෙට අපි බිහි වෙලාවත් නැති කාලේ ඉඳන්ම අපි ගැන හීන මැව්වේ එයා. තමන්ට කියලා සපත්තු දෙකක්වත් ගන්නේ නැති වුණාට අපි ඉල්ලන්නත් කලින් අපිට  හැමදේම දෙන්න තමයි ඔහුට හැමවෙලාවෙම ඕනෑ වුණේ. ලොකේ තියෙන හොඳම දේ අපිට දෙන්න ඔහු තාමත් මහන්සි වෙනවා. ලේ කිරි කරන්න බැරි වුණාට ගතින් වැටෙන දහඩිය බිඳු ආදරයට හරවන්න තරම් ඔහුගේ ආදරය ශක්තිමත් වීම පුදුමයකි.  නමුත් සිතේ තෙරපෙන ආදරය වචනයට නඟන්න නම් ඔහු දන්නේම නැත. ඇතැම්විට ඔහු දන්නවා ද විය හැක. එහෙත් ඔහු තවමත් නිහඬවම ආදරය කරන්නේ ය. දිනන විට පසසන්න ඔහු දන්නේම නැත. ඒත් අප වෙනුවෙන් රහසින් වැටෙන ඔහුගේ සතුටු කඳුළු මා ඕනෑතරම් වාරයක් දැක ඇත. පුංචිම කාලේ වැටි වැටී ඇවිදින විට වාරුව වූයේ ඔහුගේ රළු දෑත ය. එසේම අදටත් මා ජීවිතය හමුවේ වැටෙන වාරයක් වාරයක් පාසා ඔහුගේ වියපත් වූ රළු දෑතෙන් ගලන ස්නේහය මගෙ හිස මත වන බව මම හොඳාකාරවම දනිමි.

ජීවිතයේ මා දුටු ශක්තිමත්ම මිනිසා ඔහු ය. මන්දයත්, සියක් ප්‍රශ්න සිය සිතෙහි තබාගෙන අපට පෙනෙන්නට සිනාසෙන්නට ඔහු දක්ෂය. අපේ පුංචි පුංචි  දුක්ගැනවිලිත් ඔහුට පැමිණිලි කරන නමුත් උණක් හැදුනත් වේදනාව අපිට කියන්නට ඔහු කැමතිම නැත.

ජීවිතය කුමනාකාරයේ පාඩම් ඉගැන්නූව ද කාටවත් හිස නොනමා හරියාකාරව ජීවත්වෙන්නට මා උගත්තේ ඔහුගෙනි. වරදට බිය වන්නට මා පුරුදු වූයේ ද ඔහු නිසාවෙන්ම ය. වරදක් කර මුළු ලෝකයෙන්ම ගැලවී ආව ද ඔහුගේ මුවෙන් පිටවන එක ගොරෝසු වදනකින් වූවද හිත හොඳටම පෑරෙන බව මා දැනගත්තේ කුඩා කාලයේ මල්ලි සමඟ රණ්ඩු වූ දිනයේ පටන්ම ය. අදටත් ඒ බය එසේමය. එකල එය මහත් කරදරයක් වූ නමුත් අප යහමඟට පැමිණියේ ඔහුගේ රළු වදන් නිසාවෙන්මය.

ඔහුගේ ලෝකයම අප බවට පත් වී හමාරය. හවසට දහඩියෙන් නැහැවී ගෙදරට ගොඩවන ඔහුගේ දෑත අප වෙනුවෙන් ගෙන ආ දෙයින් නම් හිස් වන්නේම නැත. එහෙත් ඔහු කියනා පරිදි රස කෑම ඔහුට ප්‍රිය නැත. එමෙන්ම අළුත් ඇඳුම් නම් ඔහුට පෙන්නන්නම බැරිය. අදින් වසර දහයකට පෙර ගත් ඔහුගේ ගෙවී ගිය සපත්තු  කුට්ටම ද ඔහු පවසන පරිදි අළුත්ම එකකි. එනමුත් ඔහු මාසයකට වරක්වත් අපට අළුත් දෑ අරන් දෙන්නට නම් අමතක කරන්නේම නැත. පාට ගිය ඔහුගේ කමිසය ඔහුට නොපෙනුන ද අපේ ඇඳුමක නූලක් ඇදුන ද එය ඔහුට ගැටළුවක් බවට පත්වේ.

නිහඬ ආදරයේ හිමිකරු වූ හෙතෙම නමින් තාත්තාය. මා ජීවිතයේ දුටු ආදරණීයම පිරිමියා ඔහුය. මා කැත වුවද ලස්සන වුවද ඔහුට හැමදාම මා මැණිකක්ය. කොච්චර ලොකු වූවත් මා තවමත් ඔහුට චූටි දුවයි. ආදරය යනු කිසිත් ආපිට බලාපොරොත්තු නොවී හදවතින්ම අනෙකාට බැඳී සිටීම බව  මා උගත්තේ ඔහුගෙනි. ඒ ආදරය කියන්නට විශේෂ දිනයක් අවශ්‍ය  වන්නේ ද නැත. මන්දයත් එදා මෙන් අදත් මගේ ජීවිතේ වීරයාණන් නුඹයි තාත්තේ!.

Image Courtesy –  https://www.gallerist.in/expressionist-paintings/father-s-love

 
Tagged :