පහන් වී….

Share

පෙර’ඹර විලෙහි පිපෙමින් රන් හිරු තඹර

තරුබර ගගන තල සඟවයි සිසි අවර

නිලඹර නීල මැකු කුමරුන් නැත තිමිර

සුරඹර සුර ලියෝ ගෙන එති රිවි තඹර

 

දුල් විල් පුල් කමල් නිල් තුරු මත රැඳි මල්

මල් නිල් සුනිල් පිල් වන් මොනරිඳු සුවිසල්

සල් මල් උපුල් අරලිය වතුසුදු ගත් සිල්

සිල් ගත් තරිඳු නුබ තල නික්මේ මෙම කල්

 

රන් දද ළපලු හැඩ වූ රොනවුල් ඇතිරූ

පුන් රද තුරුණු හිරු ලෝ මත වේ සොඳුරූ

මන් හද බැඳුණු පින්බර හිරු වඩින’යුරූ

මින් දද නමුදු පැරදෙයි නිති දැක එම රූ

 

පිරි රස අමා හිරු එළි දෝතක් පුරවා

කිරිලිය පමා නොම වී යයි පුතු නහවා

සරි කර තමා ලෝ කටයුතු නෙත් යොමවා

සිරි හිරුතුමා තුටු රජ දහනක් තනවා

 

සවන් මියුරු සරසින් රස වෙණ වයන

පවන් කුසුම් කුමරිය තුරු අතින් ගෙන

රුවන් පිනි තතින් හැඩ වූ වෙණ රැගෙන

ගුවන් තල සිනාසෙයි රන් හිරු උවන

 

රිවිඳුන් නිබඳ රඟදෙන සිහිලැල් ඇල්ලේ

කිවිඳුන් සබඳ නව පැදි බැඳුමට ලොල්ලේ

දෙවිඳුන් නමැද මව හිනැහෙයි සැනසිල්ලේ

බිළිඳුන් කිම ද තව නුඹ රන් ඕවිල්ලේ

 

රන් වන් රුවන් වන් දන මන රැකෙන තුරා

රන් තුරු දිය දහර පිබිදී දිලෙන තුරා

රන් සමනොළ ගිරෙන් එබෙමින් අඳුර ඉරා

රන් රිවි උදාවෙයි රන් එළි පහන් දරා

 

Image Courtesy: https://bit.ly/2TdVLmA

 
Tagged : / /