ආදරණීය දුවේ

Share

ආදරණීය දුවේ,

මට හැමදාම දැනෙන දේ, තත්පරයක් තත්පරයක් පාසා මගේ සිතේ තියෙන දේ, මෙහෙම අකුරු කරන්න හිතුවේ මේ දවස් වල වඩ වඩාත් සිහිපත් වෙන ඒ සිද්ධිය නිසා.

මගේ දුවේ, කසාද බැඳලා අවුරුදු 5 ක් ම ගියා ඔයා මායි,තාත්තායි ගාවට එන්න. ඔයාව ප්‍රාර්ථනා කරන්න නොගියපු පන්සලක්, නොගියපු දේවාලයක් නැහැ. අනික් අය මොනවා කිව්වත් ඔයාගේ තාත්තා කවදාවත් ඔයා අපි ගාවට එන්න පරක්කු වුණු එකට මට වචනෙකින්වත් දොසක් කියලා නැහැ.

ඔයා අපි ගාවට එන්න ලෑස්තියි කියලා දොස්තර කිව්ව දවස තමයි මගේ ජීවිතේ සතුටුම දවස. තාත්තටත් එහෙමයි. එදා ඉඳන් ඔයාට පොඩිම වේදනාවක් වත් නොදැනෙන්න මම පරිස්සම් වුණා.

මම ආස රස්නෙන් තේ,කෝපි බොන්න. ඒත් ඔයාව පිච්චෙයි කියලා බයට ඔයා ලැබෙන්න ඉන්න තාක්කල් කිසිම උණු කෑමක් බීමක් ගත්තේ නෑ. නිදාගනිද්දි මට කොච්චර අමාරු වුණත් පැත්තට වත් හැරුණේ නැහැ. උඩු අතටම නිදා ගත්තේ ඔයාව තැලේවි කියලා බයට. ඇවිද්දෙත් හරිම පරිස්සමට මම වැටුණොත් මට වඩා ඔයාට රිදෙන නිසා.

සැරයක් මට පොලොස් කන්න ආස හිතුණා. ඒත් ඒ පොලොස් තියෙන කාලේ නෙවෙයි. ගොඩාක් දුර පළාතකට ගිහින් තාත්තා පොලොස් හොයාගෙන ආවේ. හොයා ගෙන එද්දී හුඟක් රෑ වෙලා තාත්තාට ගෙදර එන්න ක්‍රමයක් නැතිව පැය ගාණක් පයින් ඇවිල්ල තියෙන්නෙ.

ඔයා මේ ලෝකෙට එන්න හදද්දී දොස්තර මහත්තයා කිව්වේ මගේ ජීවිතේ විශ්වාස නැති නිසා ඔයාව අයින් කරලා මාව බේරගන්නම් කියලා. තත්පරේකින් පංගුවක් වත් හිතන්නේ නැතිව ඔයාව බේරගන්න කියලායි මම කිව්වේ. ඔයාගේ තාත්තගේ ඇස් වල දෙගිඩියාවක් තිබ්බේ එයා අපි දෙන්නටම එක වගේ ආදරේ නිසා.

ඒ වෙලාවේ මාව සුදුපාට ආලෝකයක් දිහාවට ඇදිලා යනවා වගේ මතකයි. ඒත් ඈතින් ඔයා අඬනවා ඇහුණම මට ඔයාව මගේ ඇස් දෙකට දැකගන්න ඕනේ වුණා. ඒ තමා ඔයාත් එක්කම මාත් මේ ලෝකේ ඉපදුණු දවස. අපි දෙන්නවම ලැබුණු සතුටට තාත්තගේ ඇස් වල කඳුළු තියෙනවා මම පළවෙනි සැරේට දක්කා.

වෙන ළමයි දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න හීන දකිද්දී ඔයාට ඕනේ වුණේ අනාථ ළමයි බලාගන්න පාලිකාවක් වෙන්න.

තව, ඔයා ගැන කියන්න ඔයා මං ගාව හිටපු හැම තත්පරයක් ගැනම කියන්න මට ඕනේ. ඒත් ඒ හැඟීම් අකුරු කරන්න තේරෙන්නේ නෑ මට.

මම බුද්ධාගමේ, මගේ මහත්තයා ක්‍රිස්තියානි. ඉතින් අපේ ගෙදර නත්තල්, වෙසක් දෙකම එක වගේ තිබ්බේ. ඔයා හැමදාම කිව්වේ බුදු සාධු යි,ජේසුතුමයි දෙන්නම කිව්වේ දෙව්ලොව, ස්වර්ගය එකම තැනක් කියලා. කවදා හරි ඔයා එතෙන්ට යන්න ආසයි කියලා. මම දන්නවා දැන් ඔයා එහෙ සන්තෝසයෙන් ඉන්නවා කියලා. තාත්තත් ඉන්න නිසා ඔයාට පාළුවක් නෑ නේ. ඔය දෙන්නා නැතුව අම්මට නම් හුඟක් පාළුයි.

එදා, හරියටම අවුරුද්දකට කලින්, ඔයාට ඕනේ වුණා තාත්තයි මායි එක්ක පල්ලි යන්න. සුරංගනාවියක් වගේ ලස්සනට ඇඳලා ඔයා තාත්තයි මායි මැද්දේ වාඩි වුණේ හරි සන්තෝසෙන්. දේව මෙහෙය මැද්දෙදී එක පාරටම ලොකු සද්දයක් ඇහුණා. මට ඇස් ඇරගන්න, කන්දෙක ඇහෙන්න ටික වෙලාවක් ගියා. හැමතැනම රතු පාටට මම දැක්කේ.

කලින් තිබුණු සුරපුරය වෙනුවට මම දැක්කේ.. ඒ දේට ගැළපෙන වචනයක් මට හිතාගන්න බැහැ. කොහොම හරි බඩගාගෙන මම ඔයා ගාවට ගියා. තාත්තාත් ඔයා ගාවම හිටියා. ඒත් එයා කතා කරේවත් හිනාවුණේවත් නැහැ. මට අන්තිමට මතක ඔයා මගේ අත යන්තමට අල්ලගෙන අම්මේ කියලා ඇස් පියාගත්ත හැටි.

ඔයාව ලැබෙන දවසේ මම දැක්ක  සුදු පාට ලස්සන එළිය මම ආයි දැක්කා. ඔයායි, තාත්තයි ඒ එළිය දිහාට යනව. ඔය දෙන්නම මන් දිහා බැලුව ආදරෙන්. ඒත් මට ඔයාලා ගාවට එන්න බැරි වුණා. ඒ සුදු ආලෝකය එහෙමම නැතුව ගියා..

මම යථා තත්වෙට ආවේ මාස ගාණකට පස්සේ. මුලින්ම මට තේරුණේ නැහැ ඇයි මම තාමත් ජීවත් වෙන්නේ කියලවත්. ඒත් මම තේරුම් ගත්තා අන්තිමට. ඒ ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න කියලා.

මගේ ගෙදර, මගේ දේපළ ඔක්කොම මම අනාථ දරුවන් වෙනුවෙන් කැප කළා. ඔයා දුව පැනපු මේ ගෙදර තව දරුවෝ ගොඩාක් සන්තෝසෙන් සෙල්ලම් කරනවා දැන්. ඒ දරුවන්ගෙන් මට පේන්නේ ඔයාවමයි. වෙනසකට තියෙන්නේ ඔයා වෙනුවට ඒ දරුවන්ගේ පාලිකාව, අම්මා දැන් මමයි.

මම කියවපු කතාවක මගේ අදහස හරියටම තියෙනවා මම දැක්කා. ඒ මැක්සිම් ගෝර්කි ගේ ද්‍රෝහියෙකුගේ මව කෙටිකතාව..(The Mother of a Traitor)

“දිවි රැක ගැනීමට භාවිතා කරන අවි මිස, අනෙක් සියලුම අවි මව්වරුන්ගේ පිළිකුලට ලක්වේ”

මේ මගේ විතරක් නෙවෙයි, සියලුම අම්මා වරුන්ගේ සිතුවිල්ලක්. මගේ දුවේ, ඔයා ආස ස්වර්ගයට කවදා හරි මම එනකම් තාත්තා එක්ක ඉන්න. තෙරුවන් සරණයි ඔය දෙන්නටම..!

මීට ඔබේ ම ආදර අම්මා !

 

Image courtesy ;

https://bit.ly/2zrFJ1O

https://bit.ly/3cJVm2Q

https://bit.ly/2yBrcQO

https://bit.ly/2VBNU4l

https://bit.ly/3cJVCik

https://bit.ly/2Y2Hv3M

 

 

 
Tagged : / /