සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා… අසා සිටිනවා…
එදා සිත රැඳුණු, හදවතට කතා කළ ඒ සුමියුරු හඬ තවමත් රැව් පිළිරැව් දෙන අයුරු දැක මඳකට සිත සසල වූවාක් මෙන් දැනුණි. ඒ හඬට එතරම් ම භක්තිමත් ආදරයක් මගේ සිතේ මෙන් ම ඔබේ සිතේ ද ඇතිවාට නම් කිසි ම සැකයක් නැත. ඒ අන් කිසිවක් නිසා නොව ඒ හඬ මෙන් ම ඒ ගෞරවාන්විත රුව ද අප සිත් පහන් කරන හෙයිනි.
1927 වසරේ දී, වන්නකුවත්තවඩුගේ දොන් ඇල්බට් පෙරේරා නමින් උපත ලැබූවත්, අපේ සිත් සතන් තුළ නොමැකෙන මතක සටහනක්, ඩබ්ලිව්.ඩී. අමරදේව නමින් තබන්නට සමත් වූ ඒ විශිෂ්ට ගාන්ධර්වයාණන් අප අතරින් නික්ම ගොස් අද දිනය වන විට වසර හතරක් ගෙවී ගොස් හමාර ය.
වයලීනය තම ජීවිතයේ කොටසක් කරගත් එතුමන් මියුරු ස්වරයන්ගෙන් නාද රටා මවන්නට දැක්වූ සමත්කම නිසා ම ශ්‍රී ලාංකේය සුභාවිත සංගීතයට වූ මෙහෙය වදන්වලට පෙරළිය නොහැකි ය. එදා මෙන් ම අදත්, ඉන් නොනැවතී මතුවටත්, එතුමන් සංගීතය කල එළි කරන්නට දැරූ ඒ අසීමිත උත්සාහය නොනැසී පවතින බව නම් නොරහසකි.
එතුමන් සිදු කළ මෙහෙය පිළිබඳ නොයෙක් කවි, නිසඳැස්, රචනා බොහෝ සෙයින් ලියැවී තිබුණ ද, මේ සටහන මා ලියන්නට සිතුවේ ඔහු කෙරෙහි තිබෙන්නා වූ භක්තිය නිසාවෙනි.
2016 වසරේ දී අද වැනි දිනෙක එතුමන්ගේ වියෝව ගැන සවන් වැකුණු විට මගේ සිතට ඇති වූ වේදනාව මට අදටත් මතක ය. මගේ සමීපතමයෙක් අහිමි වූ විට දැනෙන වේදනාවට එහා ගිය වේදනාවක් දැනුණු විට, විටෙක මම පුදුම වුණෙමි. එතුමන්ගේ අවසන් සුසුම තුළ මගේ ජීවිතය කෙතරම් බැඳී තිබුණා ද යන්නට එදා නෙතඟ රැඳුණු කඳුළ සාක්ෂි දැරුවේ මටත් නොදැනී ම ය.
මහ වැසි නොතකා ම නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ තබා තිබූ එතුමාගේ නිසල දේහය දැක බලා ගැනීමට මා ගියේ ද එතුමාගේ වියෝව එතරම් ම මා රිදවූ බැවිනි. එහි ගිය විට මා දුටුවේ අදහාගත නොහැකි තරම් ජන ගංගාවක් එතුමාට අවසන් ගෞරවය දැක්වීමට පැමිණෙන අයුරු ය. සැබෑ ම ගුණාත්මක කලාකරුවෙකුට කෙතරම් මිනිසුන් ආදරය කරන්නේ ද යන වග මම එදා වටහා ගත්තෙමි. ඒ එතුමන් සංගීතයට කළ අනර්ඝ මෙහෙවර නිසා පමණක් ම නොව සැබැවින් ම ඔහු තුළ ජීවත් වූ උතුම් මනුෂ්‍යයාට මා පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාව ම ගෞරව කළ හෙයිනි.
මතු උපදින පරපුරටත් මහාර්ඝ දායාදයන් තබා යන ඉතා අල්ප චරිතයන් අතර ඩබ්ලිව්.ඩී. අමරදේවයන් ඉතා ඉහළ ස්ථානයක වැජඹෙන නාමයකි. මුළු අහසක් අන්ධකාරයේ ගිල්වමින් බැස ගිය සඳක් මෙන්, එවන් වටිනා මිනිසෙකු මේ දෙරණට අහිමි වී ගිය ද ඒ ගුණ සුවඳ මෙන් ම ඒ මියුරු හඬ, ඒ නාද රටාවන් සදා අමරණීය වන බව නොඅනුමාන ය.
ඔබ කොහේ සිටිය ද ඔබ වෙනුවෙන් මේ කරන පැතුම උපහාරයක් ම වේවා ! යන්න මාගේ අහිංසක ප්‍රාර්ථනාවයි.
අමරදේවයාණෙනි,
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා!!!
Image Courtesy: https://bit.ly/3m8Xh6H