ජනෙල් පඩිය මතින් නැගෙන වැහි සීකඩ මා ඇහැරවුයේ වැස්සෙන් ගෙනෙන සීතල මුලු ගත ම හිරිවට්ටමිනි. තවදුරටත් දෑස් වසා ඇඳ රෙද්දේ ගුලීවිමට මා දැරූ ප්‍රයත්නය අසාර්ථක කරමින් සිතේ නැගෙන නිදහස් සිතුවිලි දහරා නින්දට හරස් විය. විශ්වවිද්‍යාල වර්ෂ අවසන් විභාගය අවසන් කර නිවසට පැමිණි මා හට දැන් ඇත්තේ කෙතරම් නිදහසක් ද?
පොළොවෙන් නැගෙන නැවුම් සුවදත් තුරුලතා වලින් ගෙනෙන සිසිලසත් සැබැවින්ම අත්විදිය හැක්කේ නිවසට ආ පසුව බව නිතැතින්ම ඔප්පුවන ජිවිත යථාර්ථයකි. විශ්වවිද්‍යාලය යනු පුද්ගලයෙකුගෙ ජිවිතේ නැවුම් සංධිස්ථානයකි. නමුත් උසස් පෙළ කරනවිට අප සිතින් මවා ගත් ඒ අපුරු පරිසරය සැබැවින්ම එයම ද බව, අදටත් මා හට ඇති නිරුත්තර ප්‍රශ්නයකි.
සිමෙන්ති පොළොවෙන් නැගෙන සීතල දෙපයේ සිට හිස් මුදුනට ළඟා වුයේ පියවි සිහියට මා කැන්දමින්ය. කුස්සිය දෙසින් එන ඉමිහිරි සුවඳ අම්මාගේ හාල්මැස්සන් බැඳුමෙන් බව මට නිසැකව ම කිව හැක. රතු හාලේ බතට හාල්මැස්සන් බැඳුමයි, පොල් සම්බල් සමඟ පපඩම් මාගේ ප්‍රියතම දිවා භෝජනය බව අම්මා හොඳ හැටි දැන සිටියා ය. හනික මා කුස්සියට විත් වළං පෙරළන්නට වුයේ මාගේ ආසාව මුදුන් පත් වේ යයි, බලාපොරොත්තුවෙනි.
නමුත් අම්මා කුස්සියේ පෙනෙන්නට නැත. එය මට එතරම් දැනෙන්නට කරුණක් නොවූයේ, ගිය වසරක කාලය පුරාවට මා හට අම්මා දැකගත හැකි වුයේ මසකට වරක් වු බැවිනි. කුඩා කල පාසල නිමකර නිවසට පැමිණෙන මා එක පිම්මේ කුස්සියට දිවයන්නේ අම්මා දැකීමට ය. එකළ අම්මා නිවස තුළ නොවුයේ නම් සිතට නැගෙනුයේ මහා කාළකන්නි මිශ්‍ර මූසල හැඟීමකි. ජිවිතය කාලයත් සමඟ කෙතරම් වෙනස්ව ගොස්ද? එම හිඩැසට මා නිරායාසයෙන්ම පුරුදු වී ඇති බවක් මා හට දැනෙන්නට විය.
නිවසේ දොරකඩ ළඟින් හදිස්සියෙම පහළ ගෙදර නැන්දාගේ කටහඬ ඇසෙන්නට විය.
“පුතේ, අම්මා පහළ වත්තේ ලිස්සලා වැටිලා. ඉක්මනට වරෙං.”
එම වචන පෙළ මාගේ හිසට හෙණයක් වැදුනාක් මෙනි. මාගේ සිත නොසන්සුන්, අවුල් ජාලයකි. මා අසුරු සැනෙකින් දිව ගියේ වත්ත පහළ පොල් ගස දෙසට ය. වර්ෂාව මැද අම්මා තනිව ම කෙක්කෙන් පොල් ගෙඩියක් කඩන්නට ගොස් ය.
“මට කිව්වනම් මම කඩලා දෙන්වනේ අම්මේ”, කියමින් මම අම්මාව මාගේ දෑතට ඔසවා ගත්තෙමි. හෙමින් සීරුවේ අම්මාව මා නිවසට රැගෙන ආවේ දෑස් තුළ උපන් කඳුලු බිඳු හංඟා ගනිමින්ය.
“උඹ නිදන් හිටි හැටි දැක්කම ඇහැරවන්න ලෝබ හිතුනා මගේ පුතේ”.
මා එකඳු වචනයක්වත් පිට කිරිමට සමත් නොවී ය. අම්මාගේ තැනින් තැන ඉදුණු කෙස්ගස් හා රැළි වැටීමට පටන් ගත් සුන්දර මුව මඬල මා හට හොඳින් දිස් වන්නට විය. අම්මා පොල් කැඩීමට ගියේ මා හට රසවත් පොල් සම්බලක් සෑදීමට බව මම හොඳ හැටි දැන සිටියෙමි.
හීන් සීරුවේ අම්මා ව ඇඳේ හාන්සි කර වූ මා, ඈගේ පා යුගළේ බෙහෙත් තෙල් ගැල්වීමට සැරසුනෙමි. ඉඩෝරයට අසු වූ වැව් බැම්මක් සේ අම්මාගේ යටිපතුල් ඉරිතලා ගොස් ය. ජිවිතය නම් මහා මේරූ පර්වතය දරා ගනිමින් ඈ මෙතුවක් දුක් ගැහැට විඳ දරා ගන්නේ, දරුවන්ගේ සතුට උදෙසා නොවන්නේ ද? තවම මා, ඇය හට කෘතගුණ දැක්වීමට අපොහොසත් වීම පිළිබද මා සිත තුළින් පැන නඟින්නේ ලැජ්ජා සහගත මහත් වූ කළකිරීමකි. උපාධියටත් එහා ගිය මාතෘ සැළකීමක් මා හට කවදා ඉටු කිරිමට හැකි වේ ද? අප, අප වෙනුවෙන් සිදුකරන ආත්මාර්ථකාමී කැප කිරීම් හමුවේ අම්මා සිදුකරන පරාර්ථකාමී කැප කිරීම්වල වටිනාකම අප සත්‍ය ලෙස ම අවබෝධ කර තිබේ ද?
Image Courtesy: https://bit.ly/43oYtYD