කොළඹ විශ්වවිද්‍යාලයෙන් කෘෂි තාක්ෂණය පිළිබඳ නව සොයාගැනීමක්

Share

රටක සංවර්ධනය උදෙසා අත්‍යවශ්‍ය සාධක අතුරින් කෘෂිකර්මයට හිමි වන්නේ ප්‍රධාන තැනකි. “රටක මව් දයා – ගොවිකම වේය දනු ශ්‍රියා” යන පාඨය, කෘෂිකර්මාන්තයෙන් රටකට ගෙනෙන සෞභාග්‍යය සිහි ගන්වයි. අනෙක් කවර සම්පත්වලින් රටක් ආඪ්‍ය වුව ද කෘෂිකාර්මික නිපැයුම් නොමැති කල ඒ රටෙහි පවතින්නේ ඌණ සංවර්ධනයක් යයි කිව යුතුය.

සියලු ශ්‍රි ලාංකිකයන් ඇතුලුව බොහෝ ආසියාතිකයන්ගේ ප්‍රධාන ආහාරය බත් ය. බත සපයන්නේ “බුද්ධ භෝගය” හෙවත් වී ශාකයෙනි. අඩු වන භූමි ප්‍රමාණයට සමානුපතික ව වැඩි වන ජනගහනයට සරිලන ලෙස වී වගා කිරීම අද අභියෝගයට ලක් වී ඇති කරුණකි. එබැවින් අඩු බිම් ප්‍රමාණයකින් වැඩි ඵලදාවක් ලබා ගනු වස් පොහොර භාවිතය අත්‍යවශ්‍යය යි යන සංකල්පය අද කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මුල් බැස ගෙන ඇත.

ප්‍රමාණවත් ජලය, හිරු එළිය, සරු පස, ඛනිජ ලවණ වී වගාව සඳහා අත්‍යවශ්‍ය සාධක වේ. වී ශාකයේ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය අතරින් නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් ප්‍රමුඛ ස්ථානයක් ගනී. නයිට්‍රජන් පසෙහි සීමාකාරී වන බැවින් බොහෝ විට ශාකයට අවැසි නයිට්‍රජන් සැපයෙන්නේ බාහිරින් යොදන රසායනික පොහොර ලෙසය. පොහොර යෙදීම කෙතරම් වැදගත් වූවත්, නයිට්‍රජනීය පොහොර භාවිතය මෙන්ම අවභාවිතය සහ අධිභාවිතය ද, අද බොහෝ පාරිසරික හා ආර්ථික ගැටලු රැසකට මූල බීජය වී ඇත.

සීමාව ඉක්මවා නයිට්‍රජනීය පොහොර භාවිත කිරීම නිසා පස දූෂණය වන අතර ම ඇතැම් පාංශු ජීවීන්ට ද අහිතකර වේ. අතිරික්ත පොහොර වැසි ජලය සමඟ ජලාශවලට එකතු වී ජලාශවල සුපෝෂී තත්ත්ව ඇති වේ. මෙම ජලය පරිහරණය කිරීම නිසා නයිට්‍රජන් විෂ වීමෙන්, නිල් දරු උපත් (Blue Baby Syndrome), ශ්වසන රෝග සහ පිළිකා වැනි භයානක රෝග තත්ත්ව හමුවේ මිනිස් පරපුර ගොදුරු බවට පත්වී ඇත. පාරිසරික ගැටලු පමණක් නොව රටක් අස්ථාවර කිරීමට පවා සමත් වන ”පොහොර සහනාධාරය” ගැටලුව වැනි ආර්ථික ගැටලුත් පොහොර භාවිතය සමඟ පැන නැගී ඇත.

එබැවින් මෙම ගැටලුවලින් මිදී, කෘෂිකර්මාන්තයට හා කෘෂි තාක්ෂණයට සුපසන් හෙට දිනක් උදා කර දීමට බොහෝ පර්යේෂකයන් සහ විද්‍යාඥයින් තම නොමසුරු දායකත්වය දැනටමත් දී හමාරය. මෙවැනි ගැටලුවලට පිළියම් සොයන යුගයක, කොළඹ විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ශාමලා තිරිමාන්න මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් පරිසර හිතකාමී ජෛව පොහොරක් සොයා ගැනීමට සමත් වී තිබීම කෘෂි තාක්ෂණ ක්ෂේත්‍රයට නව බලාපොරොත්තුවකි.

වී වගාව සඳහා දැනට නිර්දේශිත පොහොර ප්‍රමාණය යම් මට්ටමකට හෝ අඩු කර ගැනීම, මෙම කණ්ඩායමේ මුඛ්‍ය පාරමාර්ථය වුවත්, මෙමඟින් නිර්දේශිත පොහොර ප්‍රමාණය 50% ක් දක්වා අඩු කර ගත හැකි බව පරීක්ෂණාත්මකව තහවුරු කර ගැනීමට මෙම කණ්ඩායම සමත් විය. මහනුවර, හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය ගාමිණි සෙනෙවිරත්න මහතා, මහාචාර්ය එස්. ඒ. කුලසූරිය මහතා සහ මහාචාර්ය ශාමලා තිරිමාන්න මහත්මියගේ පශ්චාත් උපාධි ශිෂ්‍ය, කොළඹ විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය තිලිණි පෙරේරා මහත්මිය මෙම පර්යේෂණ කණ්ඩායම නියෝජනය කලා ය.

බෝංචි, මෑ වැනි රනිල කුලයේ ශාකවල මූල ගැටිතිවල සහජීවී ව වාසය කරන රයිසෝබියම් බැක්ටීරියාව, ඔක්සිජන් සීමාකාරි වන විට වායුගෝලීය නයිට්‍රජන්, ඇමෝනියා (ඇමෝනියම් අයන) ලෙස ස්වාභාවිකව තිර කරන බව අපි අසා ඇත්තෙමු. නමුත් ස්වභාවයේ මූල ගැටිති නොසාදන වී ශාකයට එවැනි ක්‍රියාවලියක් සිදු කළ නොහැකිය. එබැවින් ශාකය ආශ්‍රිතව නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවක් සොයා ගැනීම කෙරෙහි පර්යේෂණ කණ්ඩායමේ අවධානය යොමු විය. ඒ ඔස්සේ සිදු කරන ලද අධ්‍යයන කටයුතුවලින් අනතුරුව, සහජීවී ව මෙන්ම තනිව සිටියදීත් නයිට්‍රජන් තිර කළ හැකි Azorhizobium caulinodans නම් බැක්ටීරියාව හඳුනාගැනීමට සමත් වූ මෙම කණ්ඩායම, මෙම බැක්ටීරියාව භාවිත කරමින් ජෛව පොහොර නිපදවීමට කටයුතු කළේය.

මෙම බැක්ටීරියාවට, වී ශාකයේ මුල් ආශ්‍රීතවත් වැඩී, සංගම් (Colonies) සෑදීමේ හැකියාව තිබේදැයි පරීක්ෂා කෙරුණු අතර මෙහිදී වඩාත් සුදුසුම ක්‍රමවේදය සොයාගනු පිණිස හරිත ප්‍රතිදීප්ත ප්‍රෝටීනවලින් (Green Fluorescent Proteins – GFP) සලකුණු කරන ලද බැක්ටීරියාවක්, නිල් එළිය සහිත ප්‍රතිදීප්තිය හඳුනා ගත හැකි අණ්වීක්ෂයකින් (Epifluorescent Microscope) නිරීක්ෂණය කරන ලදි. මෙම දත්ත වලින් අනාවරණය වූයේ බැක්ටීරියාව ෆ්ලැවනොයිඩයක් සමඟ හඳුන්වා දී ජෛව පටල (Bio film) තාක්ෂණය ඔස්සේ ශාකයට හඳුන්වා දීමෙන් වඩා සාර්ථකව සංගම් (Colonies) සෑදිය හැකි බවයි. ෆ්ලැවනොයිඩයක් යනු ස්වාභාවිකව රනිල ශාක මූල ගැටිතිවල නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා, ශාක මුල තුළට ආකර්ෂණය කර ගන්නා රසායනික සංයෝගයක් වන අතර එය සමඟ බැක්ටීරියාව ද මුල තුළට ඇදී යයි.මෙම පර්යේෂණයේදී සිට්‍රස් කුලයේ ශාකවල ඵලයේ ඵලාවරණයෙන් (ලෙල්ල) ලබා ගන්නා ලද (extract) ෆ්ලැවනොයිඩයක් යොදා ගන්නා ලදි.

අනතුරුව ෆ්ලැවනොයිඩය සමඟ ජෛව පටලයක් ලෙස බැක්ටීරියාව වී ශාකයට හඳුන්වා දෙන ලදි. හඳුන්වා දෙන ලද ජෛව පොහොර සහ නිර්දේශිත පොහොර ද විවිධ මට්ටම් වලින් යොදා ගනිමින් පාලක පරීක්ෂණ ද මෙහෙයවමින් පුරා කන්නයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යා අධ්‍යයන අංශයේ හරිතාගාරයේ පෝච්චි පර්යේෂණ (Pot experiments) මෙහෙය වන ලදි. මෙහිදී ලබාගත් වර්ධන දත්ත (Growth data) හා අස්වනු දත්ත (Yield data) වලින් අනාවරණය වූයේ ජෛව පොහොර සහ නිර්දේශිත පොහොර 50% ප්‍රතිශතවලින් යෙදූ විට උපරිම ප්‍රථිඵල ළඟා කර දෙන බවයි. හරිතාගාරයේ සිදු කරන ලද පරීක්ෂණය, සාමාන්‍ය වී වගා කරන පරිසරයක කෙසේ හැසිරේදැයි බැලීම ඊළඟ පියවර විය. ඒ අනුව කුරුණෑගල ප්‍රදේශයේ කුඹුරක පුරා කන්නයක් මෙම පරීක්ෂණය නැවත සිදු කරන ලදි. එහිදීත් පෙර පරිදිම ඉතා සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමට සමත් විය. ඒ අනුව මෙම ජෛව පොහොර වත්මන් නයිට්‍රජනීය පොහොර ආශ්‍රිත ගැටලුවට හොඳ පිළියමක් වනු ඇති බව පර්යේෂණ කණ්ඩායමේ විශ්වාසයයි. මෙහි මූලික පිරිවැය අඩු කර ගැනීමටත්, තවත් කන්න කිහිපයක සහ ප්‍රදේශ කිහිපයක ප්‍රතිඵල අධ්‍යයනය කිරීමටත් තවදුරටත් පරීක්ෂණ මෙහෙයවනු ඇත.

ව්‍යාපෘතියක් කිරීමට පෙර හොඳින් අධ්‍යයනය කර තිබීමත්, හොඳ අවබෝධයක් තිබීමත් මෙන්ම පෙර සූදානමක් හා සැලසුමක් ඇතිව කටයුතු කිරීමත් එය සාර්ථක කර ගැනීමට හේතු වන බව, මෙවැනි ව්‍යාපෘතිය කිරීමට බලාපොරොත්තු වන, නව ලොවට පා තබන විද්‍යයාඥයන්ට එතුමිය දෙන පණිවුඩයයි. මෙම පරීක්ෂණය සඳහා මූල්‍ය ආධාර සැපයූ ජාතික පර්යේෂණ සභාවටත්, පරීක්ෂණ කටයුතුවලට නිබඳව මඟ පෙන්වූ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය ගාමිණි සෙනෙවිරත්න සහ මහාචාර්ය එස්. ඒ. කුලසූරිය යන දෙපලටත්, බතලේගොඩ වී පර්යේෂණ ආයතනයටත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යා අධ්‍යයන අංශයටත්, මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහය දුන් සැමටත් විශේෂ ස්තූතිය පිරිනැමිය යුතු බව මහාචාර්ය ශාමලා තිරිමාන්න මහත්මිය පැවසීය.

මෙම ව්‍යාපෘතියේ එක් අදියරක් සාර්ථකව නිමාව දැකීම පිළිබඳව ඇය බෙහෙවින් සතුටු වන බවත්, එය නුදුරේ දී භාවිතයට පැමිණෙන්නේ නම් ඉතා අගනා බවත් ඇය වැඩිදුරටත් අප සමඟ පැවසීය. මෙවැනි පරිසර හිතකාමී අලුත් පොහොරක් නිපදවීම ශ්‍රී ලාංකීය කෘෂි තාක්ෂණික දියුණුවේ වැදගත් සන්ධිස්ථානය කි. මෙම සන්ධිස්ථානයෙන් සෑම දිශාවකටම මාර්ගයන් විහිදෙනු දැකීමට අපට අනාගතයේදී හැකි වනු ඇත.
(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් සිය විශේෂවේදී උපාධිය ද, ඇමරිකාවේ අයොවා ස්ටේට් විශ්වවිද්‍යාලයෙන් (Iowa State University) ආචාර්ය උපාධිය ද ලබාගත් මහාචාර්ය ශාමලා තිරිමාන්න මහත්මිය, 1986 වර්ෂයේදී කොළඹ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණි. විශ්ව විද්‍යාලයේ අධ්‍යයන පටිපාටි බොහෝ සෙයින් ඉහළ නැංවීමට කැප වුණු මෙතුමිය කොළඹ විශ්වවිද්‍යාලයට මෙන්ම රටට ද සම්පතකි.)

img_6517

img_6518
කථිකාචාර්ය තිලිණි පෙරේරා මහත්මිය
මහාචාර්ය ශාමලා තිරිමාන්න මහත්මිය
මහාචාර්ය ශාමලා තිරිමාන්න මහත්මිය