ලක්බිම රනින් පිදූ දිරිය ක්‍රීඩා විරුවා

Share

සිය රටෙහි ජාතික ධජය පෙරටු කරගෙන, සිය ක්‍රීඩා සගයන් සමඟින් ඔලිම්පික් ක්‍රීඩා භූමියට පිවිසීම ම ලොව පුරා වූ උද්‍යෝගිමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උත්කර්ෂවත් සිහිනයයි. ඒ සා විශිෂ්ට වූ ඔලිම්පික් උළෙලේ සහභාගිත්වයෙන් බොහෝ ඈතට ගොස් අනගි රන් පදක්කමක පහස ලැබීමට හැකිවීම කෙතරම් විශිෂ්ට ද? පසුගිය දා එම භාග්‍යයය ලක් මවට උරුම කර දීමට ඇගේ ම විරු පුත්‍රයෙක් සමත් වූවේ ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම පැරාඔලිම්පික් රන් පදක්කම එසේ දිනා ගනු ලැබූ ඔහු සිය උපරිම දක්ෂතාවය ලෝක වාර්තාවක් ලෙසින් ඉහළට ම ඔසවා තබන්නට ද සමත් වූවේ ය.

නමින් හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් වූ ඔහු 2020 ටෝකියෝ පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූයේ F46 අංශයේ හෙල්ල විසිකිරීම තරඟ ඉසව්වෙනි. 67.79 m ක දුරක් වාර්තා කරමින් ඔහු සියල්ලන් විස්මයට පත් කරද්දී, 2016 වර්ෂයේ මෙම ඉසව්වේ පැරාඔලිම්පික් ශූර ඉන්දියානු ක්‍රීඩක දේවේන්ද්‍ර විසින් 64.35 m ක සිය උපරිම දක්ෂතාවය සටහන් කරමින් රිදී පදක්කමෙහි අයිතිය තමා සතු කරගැනීම ක්‍රීඩා උළෙලේ බටහිර ආධිපත්‍යයට ආසියාවෙන් කළ සුහද අභියෝගයක් බඳු විය. අසමසම ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා ජාතික ධජය වෙත දිනේෂ් දැක් වූ සිපාචාරය සකල ලාංකික හදවත් දේශාභිමානයෙන් පුබුදු කරවන්නක් වූ බව නොඅනුමාන ය.

ඈතින් ම වූ ඉලක්කය වෙත සිය ජයග්‍රාහී හෙල්ල ඇදී ගියේ යම් සේ ද දිනේෂ් සිය ජීවිත මාවතේ ද නොසැලී ඉදිරියට ගමන් කළේ එසේ ය. 1986 ජූලි මස 15 වන දා අනුරාධපුර කාගම දී පවුලේ මද්දුමයා ලෙසින් උපත ලද ඔහුට පියාගේ අභාවයත් සමඟ වඩාත් දුෂ්කර ළමා කාලයක් ගතකිරීමට සිදුවිය. 2004 දී දහ අට වන වියේ වූ ඔහු ත්‍රස්තවාදීන්ගෙන් රට මුදවා ගැනුමට එවකට තද බල ලෙසින් ක්‍රියාත්මක ව තිබූ මානුෂීය මෙහෙයුම වෙනුවෙන් යුධ හමුදාවේ තුන් වන ගජබා රෙජිමේන්තුවට බැඳුණේ ය.

කල් ගත වත් ම 2008 දී දිනේෂ්ගේ දිවිය වාසනාවන්ත ලෙස උඩු යටිකුරු කළ එක් අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය. දෙසැම්බර් 16 වන දා කිලිනොච්චියේ දී රට වෙනුවෙන් යුධ වදිමින් සිටි ඔහු ප්‍රතිප්‍රහාර ලැබ රොහල් ගත කෙරිණි. ඒ අනුව T-56 උණ්ඩ තුනකින් තුවාල ලැබූ වමතක් සහිත ව ආබාධිතයකු ලෙසින් රාගම රණවිරු සෙවණේ ප්‍රතිකාර ලබමින් වේදනාකාරී සිව් වසරක් ගතකිරීමට මේ තරුණයාට සිදුවිය.

අසනීප තත්ත්වය නිසා ම විශ්‍රාම ලැබ සිටි කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හට ජීවත් වීමට නව අරමුණක් සපයා දෙමින් ක්‍රීඩාවට යොමු කරවීමට ගජබා රෙජිමේන්තුවේ නිලධාරීහු උත්සුක වූහ. එපරිද්දෙන් දිනේෂ් හෙල්ල විසිකිරීම ඉසව්ව වෙත අවධානය දෙමින් සිය දක්ෂතා මනා ව හඳුනාගෙන තිර අදිටනින් සැම විට ම ක්‍රියා කළේ ය. පාසල් අවධියේ හෝ යුධ හමුදාවේ සේවය කරන විට දී හෝ ක්‍රීඩාවට විශේෂ ඇල්මක් නොදැක් වූ ඔහු අද වන විට ක්‍රීඩාව තුළින් ම සිය ජීවිතය දිනා ඇති අයුරු අපූර්වජනක ය.

වයස අවුරුදු 26 දී අන්තර් රෙජිමේන්තු පැරා තරඟවලියේ දී සිය ප්‍රථම රන් පදක්කම, ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් ලබාගැනීමට දිනේෂ් සමත් වූයේ ය. ඉනික්බිති ව 2012 පැරාඔලිම්පික් තරඟ සඳහා මැලේසියාවේ පැවති තේරීම් තරඟයකින් ද රන් පදක්කම ඔහු විසින් දිනා ගත්ත ද ඒ වන විට ලෝක ශ්‍රේණි ගත කිරීම අතරට පැමිණ නොසිටීමෙන් ඔහුගේ ඔලිම්පික් සිහිනය මඟ හැරුණි. නමුත් ඒ එම වසරේ පමණි. නොපසුබට වීර්යය හා තියුණු පුහුණුවීම මධ්‍යයේ 2016 රියෝ ඔලිම්පික් සඳහා දිනේෂ් සුදුසුකම් ලබන්නේ ය. එපමණක් නොව සිය ඉසව්වේ ලෝකඩ පදක්කම සමඟින් ලාංකීය ඔලිම්පික් ඉතිහාසයේ ඩන්කන් වයිට්, සුසන්තිකා ජයසිංහ, ප්‍රදීප් සංජයට පසු ඔලිම්පික් පදක්කම් ලාභි සිව්වැන්නා ලෙසත් සිය නාමය සනිටුහන් කිරීමට ඔහු වරම් හිමි කර ගන්නේ ය. 2018 වසරේ ආසියානු පැරා ඔලිම්පික් තරඟාවලියේ දී 61.84 m ක නව වාර්තාවක් පිහිටුවමින් F46 කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට දිනේෂ් සමත් විය. ඒ නිසාවෙන් ම 2020 පැරා ඔලිම්පික් කරා ඔහු ගමන් කළේ දැඩි ආත්ම විශ්වාසයකිනි.

සැබවින් ඔහු මෙන් ම රට ද භුක්ති විඳින මේ ජය සැමරුම වෙනුවෙන් අබාධිත බව බාධාවක් කර නොගෙන, එය ම ආශිර්වාදයක් කරගැනීමට දිනේෂ් හා ඔහුගේ ආදරණීයන් සුවිශාල කැපකිරීමක් සිදු කර ඇත. ක්‍රීඩාව තුළින් පවා රට වෙනුවෙන් යම් සේවයක් කිරීමට ඉටා ගෙන සිටි දිනේෂ් දිලෙන රන් පදක්කම අතැති ව ලොවට පවසන්නේ ක්‍රීඩාව තුළින් ඔහු සිය බිඳුණු දිවිය යළි ශක්තිමත් කරගත් අයුරින් සියලු දෙනාට ම ඔවුන්ගේ සිහින කරා යෑමට හැකියාව නිරතුරු ව පවතින බව නොවේ ද?

 

References:

Image Courtesies:

 
Tagged : / /