ඔබ දැනුවත් ද?

Share

මා තවමත් ප්‍රමාද නැතැයි සිතමි. දිනෙන් දින සීඝ්‍රයෙන් දියුණු වන තාක්ෂණික සමාජයක මිනිසුන්ගේ පිරිහීම ද එසේ ම සිදු වෙතැයි කීම වරදක් නොවේ යැයි මා විශ්වාස කරමි. මෙම තත්වය යටතේ මිනිසුන්ගේ පෞද්ගලිකත්වය ද මුලු ලෝකයටම විවෘත වී ඇත. බොහෝ විට මෙය සිදුවන්නේ ඔහුගේ හෝ ඇයගේ දැනුවත් බවකින් තොරව වෙනත් පාර්ශවයක මැදිහත් වීමකින් වීම කනගාටුවට කරුණකි. කෙසේ නමුදු මෙම තත්වයට මුලු මහත් සමාජය ම වගකිව යුතුය. මෙයට එරෙහිව ක්‍රියා කළ යුතු ය. නමුත් මෙහි තවත් ගැටලුවක් වන්නේ සාමාන්‍ය ජනතාව නව තාක්ෂණික උපාංග පිළිබඳව ඇති නො දැනුවත්භාවයයි. මෙම ලිපියෙන් එවන් තාක්ෂණික යෙදවුම් පිළිබඳ ව ඔබ දැනුවත් කිරීමටත් ඒවා හඳුනාගත හැකි සරල උපාංග පිළිබඳවත් සාකච්ඡා කිරීමට අදහස් කළෙමි.

විශේෂයෙන් ම ඔබ මෙවන් ප්‍රයෝගයන්ට හසු වන්නේ ඔබේ නිවසින් පිටතදී ය. බොහෝ විට කාර්යාලයෙහි සිදුවන ඉතා වැදගත් රැස්වීමක් තුළ, නිවාඩුවක් ගත කිරීමට යන හෝටලයක, ඇඳුම් මිලදී ගැනීමට යන වෙළඳසැලක් තුළ ආදී  නොයෙක් ස්ථාන පෙන්වාදිය හැක.

1. ඇඳුම් එල්ලනවාද?

මෙය පෙනුමින් සාමාන්‍ය ඇඳුම් එල්ලීමට යොදාගන්නා කොක්කක් ලෙස පෙනේ.නමුත් හොඳින් බැලූ කල එය එසේ නො වන බව දැකගත හැක.බොහෝ විට මෙය ඇඳුම් සාප්පුවක හෝ ඔබ නවාතැන් ගන්නා හෝටලයේ නාන කාමරයේ තිබිය හැක. එබැවින් කල්පනාකාරී වන්න.ඉතා අඩු මුදලකට අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කළ හැකි මෙහි අති සුපැහැදිලි කැමරාවක් සහිත අතර 16GB මතක ධාරිතාවක් ඇත.

2.බොත්තමක් ද?

 

මෙය කලු පැහැති බොත්තම් සහිත කමිසයක පවතින බොත්තම වෙනුවට පැළඳිය හැකි කුඩා කැමරාවකි. පරිපථය කමිසයට වැසී පවතින නිසා හඳුනා ගැනීම අපහසු ය. මෙය 1080p තීව්‍රතාවක් ඇති අතර 32GB මතකයක් ඇත. එසේම ලබාගන්නා දර්ශන රැහැන් රහිතව වෙනත් අයෙකුට සම්ප්‍රේෂණය  කිරීම ද සිදුවේ. එබැවින් සත්‍ය අපරාධකරු සොයාගැනීම ද අපහසු ය.

3.ඔබේ හැඳුනුම්පත

පෙනුමින් සාමාන්‍ය හැඳුනුම්පතක් සේ පෙනුන ද මෙය තවත් දත්ත සොරා ගැනීමේ උපක්‍රමයකි. 480 p තීව්‍රතාවකින් යුතු රූප දර්ශන හා ශබ්ද මෙමගින් පටිගත වේ. මතක ධාරිතාව 8 GB වේ.

4.ඇණය දෙස හොඳින් බලන්න.

බිත්තියෙහි සවි කළ ඉස්කුරුප්පු ඇණයක් සේ දිස්වේ. අති සුපැහැදිලි කැමරාවක් මෙහි ඉස්කුරුප්පු හිස තුල අඩංගු වේ. 32 GB මතක ධාරිතාවක් සහිත අතර පියවි ඇසින් හඳුනා ගැනීම ඉතා අපහසු ය. මෙහි සම්පූර්ණ ප්‍රමාණය 2.8 cm x 2 cm  වේ.

5.වායු සංවේදකය

බැලූ බැල්මට මෙය වායු සංවේදකයක් ලෙස පෙනීගිය ද මෙහි ඊට එහා ගිය තාක්ෂණයක් ඇත. මෙහි ද 72^0 ක ආනතියකින් යුතුව වීඩියෝ පට ලබාගත හැකි කැමරාවක් සහ වර්ග මීටර 40 ක ප්‍රදේශයක් ආවරණය වන සේ ශබ්ද පටිගත කළ හැකි අතර, පැය 12 ක කාලයක් පුරා ක්‍රියාත්මක වීමට තරම් වූ බැටරි බලයක් පවතී. එසේම මෙය දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වේ. එබැවින් ඔබ ආගන්තුක ස්ථානයක සිටී නම් මේ පිළිබඳ ව ද සැලකිලිමත් වන්න.

6.බල්බය පවා විශ්වාස කල නොහැක

මෙය සාමාන්‍ය LED බල්බ 36 කින් සමන්විත අතර සාමාන්‍ය පරිදි ආලෝකය ලබා දේ. ඊට අමතර ව බල්බයේ මැද ඇති 12 Mp වූ කැමරාවක් මඟින් ආවරණය වේ. WiFi ඔස්සේ මෙම දත්ත වෙනත් ස්ථානයක සිට නැරඹීම සිදු කළ හැක. එබැවින් ඔබ නො දැනුවත්ව ම යම් අයෙකුට ඔබව හොර රහසේ නිරීක්ෂණය කල හැක. එසේම රාත්‍රී දර්ශන ද මෙමගින් ලබා ගත හැක.

7.ඔබ භාවිතා කරන පරිගණක මවුසය ඔබේ ඔත්තුකරු විය හැකිය

මෙය  සාමාන්‍ය පරිගණක මවුසයකි. නමුත් මෙහි ඇතුළත් GSM මොඩියුලය නිසා ලෝකයේ ඕනෑම තැනක සිට මවුසය අසල සිදුවන කතාබහකට කන් දිය හැක. අවශ්‍ය වන්නේ මවුසයට යොදා ඇති සිම් පත් අංකයට ඇමතුමක් ලබාගැනීම පමණි. එසැණින් ඒ අවට ශබ්ද වලට දුරකතනය ඔස්සේ සවන් දිය හැක. එබැවින් නිවසේ හෝ කාර්යාලයේ ඔබ භාවිතා කරන මවුසය පරීක්ෂා කර බලන්න.

8.තවත් එවැනි උපාංග

 

මෙම උපාංග තුළ ද GSM මොඩියුල අන්තර්ගත අතර ලෝකයේ ඕනෑම ස්ථානයක සිට උපකරණය අවට සිදුවන දෙයට සවන් දිය හැක.මේ ආකාරයේ තවත් උපකරණ විශාල ප්‍රමාණයක් අද වන විට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරනු ලබයි. ඉහත කතා කරනු ලැබූ සියලු උපකරණ රු. 4000 ටත් වඩා අඩු මිලක් සඳහන් වේ. මිල අඩු බව නිසාත් පහසුවෙන් ලබාගත හැකි නිසාත් ඔබ ඕනෑම මොහොතක මෙවන් උපාංගයක් මඟින් අපරාධකරුවෙකුගේ නිරීක්ෂණයට ලක් වනවා විය හැක. ඒ නිසා සෑම විටම විමසිලිමත් වන්න.

ආරක්ෂා වන්නේ කෙසේ ද?

මෙම සංවේදකය රු.1500 ක් වැනි අඩු මිලකට අන්තර්ජාලය ඔස්සේ නිවසට ම ගෙන්වාගත හැක. ඉතා කුඩා නිසා ඕනෑම තැනක ගෙනයාමට වුව ද පුලුවන. එමඟින් රැහැන් රහිත, රැහැන් සහිත කැමරා, රේඩියෝ තරංග  විකාශක උපාංග, GSM, VHF, UHF තරංග උපාංග, එසේම සැඟවුණ  අධෝරක්ත කැමරා ආදිය පහසුවෙන් අනාවරණය කරගත හැක. මෙමගින් 1 MHz – 6500 MHz පරාසයක තරංග  ආවරණය කරයි. එසේම 0.1 m-20 m දක්වා පරාසයක ඇති කැමරා සියල්ලක් ම පෙන්නුම් කරයි. මෙම උපකරණය වර්තමාන සමාජය තුළ අත්‍යවශ්‍ය උපාංගයක් ලෙස හඳුන්වා දීමට පුලුවන.

මෙම ලිපිය තුළින් සාකච්ඡා කළ කරුණුවලට අමතරව තවත් බොහෝ මෙවන් උපකරණ තිබේ. වඩා වැදගත් කරුණ වනුයේ මෙම උපකරණ ආරක්ෂක යෙදවුම් ලෙස නිපදවා තිබුණ ද ඇතැමුන් මෙම තාක්ෂණයන් වැරදි ලෙස යොදා ගනිමින් සිටීමයි. මොහොතක් සිතන්න, ඔබ මේ ලිපිය කියවමින් සිටින මොහොතේ පවා මේ අකාරයෙන් යමෙක් ඔබව ද රහසිගතව නිරීක්ෂණය කරමින් සිටිනවා විය හැක. එබැවින් විමසිලිමත් වන්න. වඩා සුරක්ෂිත අනාගතයක් සඳහා දැනුවත් වන්න. අන් අය දැනුවත් කරන්න.

 

Reference : http://www.ebay.com/sch/i.html?_from=R40&_trksid=p2047675.m570.l1313.TR0.TRC0.H0.Xspy+gadgets.TRS0&_nkw=spy+gadgets&_sacat=0

Image credits : http://news.coa.ge/uploads/2016-03-16/hackerr.jpg