ශත දහයේ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ

Share

නිදහස් ශ්‍රී ලංකාවක මතවාද ලෝකයා හමුවේ ප්‍රචලිත කිරීමෙහි ලා පුරෝගාමී වූ පුරාවෘත්ත බොහෝ අපට හුරු පුරුදු නාමයන් ය. අනගාරික ධර්මපාල, ඩී. එස්. සේනානායක, පොන්නම්බලම් අරුණාචලම් හා ජෝන් ද සිල්වා ඉන් සමහර පුරාවෘත්ත කිහිපයකි. මේ හුරු පුරුදු නාමයන් අතර අපට නුපුරුදු නමුත් එවකට මුළුමහත් ආසියාව ම දැන සිටි නාමයක් විය. ඒ අන් කවරෙක්වත් නොව, කොළොම්පුර මධ්‍යයයේ බේරෙ වැව අසළ සුරපුරයක් සේ දිස් වන ‘ලේක් හවුසියේ ‘  නැතිනම් ශ්‍රී ලංකා පුවත්පත් මහගෙදරෙහි නිර්මාතෘ තුමා ය.

දොන් රිචඩ් විජේවර්ධන කැලණි ගං ඉවුරේ සේදවත්ත ග්‍රාමයේ දී දොන් ෆිලිප් විජේවර්ධන මොහොන්දිරම් මහතාට ද හෙලේනා විජේවර්ධන ළමාතැනීට ද දාව 1886 පෙබරවාරි මස 23 වැනි දා උපන්නේ සහෝදර සහෝදරියන් නම දෙනෙකුගෙන් යුතු පවුලේ තුන් වැන්නා ලෙස ය. කොළඹ මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මොහු නීතිය පිළබඳ වූ දැඩි කැමැත්ත නිසා උසස් අධ්‍යාපනය සඳහා නීතිය හැදෑරීමට ලන්ඩනයේ කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් වූයේ ය. එකල ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමීන් දේශන හා සාකච්ඡා සඳහා එංගලන්තයට පැමිණි අවස්ථාවන්වල දී ඔවුන් ඇසුරු කිරීමට තරුණ විජේවර්ධන මහතාට හැකි විය. මේ ඇසුර නිදහස් ශ්‍රී ලංකාවක් උදෙසා තම රටට සේවය කළ යුතු යි යන මතය විජේවර්ධනයන්ගේ සිත තුළ කාවැදීමට මහත් හේතුවක් විය. තව ද ඒංගලන්තයේ දී එෆ්.එච්.එම් කෝබට් මහතා සමඟ විජේවර්ධන මහතා අතර තිබූ ඇසුර පුවත්පත් කලාව පිළිබඳ ඇල්මක් තම සිත තුළ ඇතිකිරීමට දැඩි ව බලපෑවේ ය.

1912 දී නැවත මව් රටට පැමිණි විජේවර්ධනයන් කොළඹ අළුත් කඩේ උසාවියේ අධිනීතීඥයෙකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළේ ය. නොබෝ කලක් යත් ම නීති විෂයෙන් ඈත් ව ස්වකීය රට වැසියා උදෙසා සේවය කළ යුතු යි යන අදහසින් දේශපාලනයට පිවිසි විජේවර්ධනයන්, පොන්නම්බලම් අරුණාචලම්ගේ සහය ඇති ව ‘ජාතික සමිතිය’ නැවත පිහිට වීය. නොබෝ කලකින් ප්‍රබල දේශපාලන පක්ෂයක් වූ ලංකා ජාතික සංගමය බවට පත්වූයේ මෙම ජාතික සමිතිය යි.

නිදහස් ශ්‍රී ලංකාවක නිදහස් මතවාද ලොවට ප්‍රචලිත කිරීමෙහි ලා ප්‍රථම පියවර ලෙස ඩී. බී. ජයතිලකගේ උපකාර ඇති ව, එච්. එස්.පෙරේරා මහතාගෙන් ‘දිනමිණ’ පුවත්පතෙහි අයිතිය  පවරා ගෙන විජේවර්ධනයන් පුවත් පත් කලාවට අඩිතාලම තැබුවේ ය. 1915 පෙබරවාරි 02 දී ප්‍රථම වරට වර්ණ මුද්‍රණයෙන් යුතු දේශීය පුවත්පත ලෙස, දිනමිණ විශේෂ කලාපයක් පළ කිරීමට විජේවර්ධනයන් සමත් විය. මෙසේ පාඨකයා හට වර්ණ ඡායාරූප සමඟින් වඩාත් ආකර්ෂණීය පුවත්පතක් ලබාදීම සෑම විට ම විජේවර්ධනයන්ගේ අරමුණ විය. තවදුරටත් ඔහු තම පුවත්පත් ව්‍යාපාරය පුළුල් කළේ බංකොලොත් ව තිබූ ‘Ceylonese’ පුවත්පත මිල දී ගෙන ‘Daily News’ නමින් මුද්‍රණය කිරීමෙන් හා යුරෝපීයන් සතු ව පැවති ‘Ceylon Observer’ පුවත්පත පවරා ගැනීමෙන් පසුව ය.

අකුරු උගත් බුද්ධිමත් ප්‍රජාවක් ලාංකීය සමාජය තුළ බිහිවීමත් සමඟ ඉල්ලුමට සරිලන පුවත්පත් නිෂ්පාදනය පිළිබඳ යම් ගැටලුවක් පැන නැගුණු මොහොතේ විජේවර්ධනයන්ගේ මනස තුළ මේ පුවත්පත් සියල්ලෙහි ම මුද්‍රණ කටයුතු එකම ස්ථානයකට ගෙන කාර්යක්ෂම කළ යුතු යැයි වන අදහස පහළ විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1926 වසරේ දී ‘ලේක් හවුස්’ මන්දිරය ඔහු විසින් ඉදිකිරීම ආරම්භ කරන ලදී. 1929 මේ සුවිසල් ලේක් හවුස් මන්දිරය නවීන මුද්‍රණ යන්ත්‍ර උපාංග සමඟින් සාදා නිම වූ අතර එය ඉතිහාසයට එක් වුණේ ශ්‍රී ලංකා පුවත්පත් වංශ කතාවේ මහගෙදර ලෙසට‍ යි. අදටත් ලේක් හවුසිය හඳුන්වන්නේ ‘පත්තර මහගෙදර’ ලෙසට යි.

මෙසේ පුවත්පත් නවීන මුද්‍රණ යන්ත්‍ර භාවිතයෙන් ඉතා කාර්යක්ෂම ව සිදුවන අතරතුරේ දී පුවත්පත් සීඝ්‍රයෙන් පාඨකයා අතට පත් කිරීමට ද මොහු පියවර ගත්තේ ය. මේ සඳහා දුර පළාත්වලට පුවත්පත් බෙදාහැරීමට ෆෝඩ් මොඩල් ටී වර්ගයේ වෑන් රථයක් ද, දුම්රිය මඟින් නියෝජිතයන්ට සීඝ්‍රයෙන් පුවත්පත් යැවීමට ද පියවර ගත්තේය.

ලේක් හවුසිය නිර්මාණයෙන් පසු සිදුවූ වැදගත් ම දේ නම් 1930 මැදින් මස 30 වන දින විජේවර්ධනයන් විසින් ‘සිළුමිණ’ පුවත්පත පාඨකයා වෙත එළිදැක්වීම යි.  ‘සිළුමිණ’ පුවත්පත යනු ලංකාවේ පළමු සති අග සිංහල පුවත්පත යි. එවකට ලාංකීය ජන සමාජයේ සිටි ප්‍රබුද්ධ විදග්ධ පාඨකයා මෙන් ම සාමාන්‍ය සරල පාඨකයා ද එක සේ ආදරයෙන් වැළඳගත් පුවත්පතක් ලෙස ‘සිළුමිණ’ පුවත්පත හඳුනාගත හැක. බහුතරය සිංහල වූ සමාජයක පාඨකයාව පුළුල් සමාජ දේශපාලන සංස්කෘත දැනුමින් මෙන් ම සාහිත්‍ය රසයෙනුත් පෝෂණය කරමින් සිටි සිළුමිණ එකල හැඳින්වූයේ ‘ශත දහයේ විශ්වවිද්‍යාලය’ යන අන්වර්ථ නාමයෙනි. ‘Ceylon Observer’ පුවත්පත ද ‘Sunday Observer’ ලෙස පළකෙරුණේ ලක්දිව පළමු සති අන්ත ඉංග්‍රීසි පුවත්පත ලෙස ය.

මෙසේ නිදහස් ශ්‍රී ලංකාවක් උදෙසා අප්‍රකට, නිහඬ ව්‍යායාමයක් කළ විජේවර්ධනයන්ගෙන් රටට සිදුවූ සේවය අති මහත් ය. විජේවර්ධනයන් සතු ව තිබූ ඉපැරණි වටිනා පොතපත මෙන් ම ඉපැරණි වටිනා සිතියම් ද පේරාදෙණි සරසවියේ පොත්ගුලට පරිත්‍යාග කළ එතුමන් සරසවි භූමිය තුළ සංඝයා වහන්සේලා සඳහා සංඝාරාමයක් ද ඉදි කරවීය. පේරාදෙණි සරසවියේ නේවාසිගාරයක් එතුමාගේ නමින් නම් කර ඇත්තේ එතුමා සරසවිය වෙනුවෙන් සිදු කළ මහඟු සේවාවට උපහාර පිණිස ය. අදටත් ලංකාවේ විශාලත ම කර්තෘ මණ්ඩල පුස්තකාලයක් සහ විශාල දත්ත පුස්තක ගබඩාවක් ලෙස එතුමා විසින් ඉදි කළ මනරම් ලේක් හවුසිය හැඳින්විය හැක. අදටත් බොහෝ ශාස්ත්‍ර පීඨවල සිසුහු දත්ත ගුලක් ලෙස මෙය භාවිතා කරති. නොම්බර: 35, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10 හි පිහිටි ලේක් හවුසිය අදටත් ඔබේ නිදහස් චින්තනයන්ට ඉඩහසර ලබා දෙන විසල් නවාතැනකි.

මෙලෙස ලාංකීය පාඨකයාට විසල් රසාස්වාදයක් ලබා දීමට කටයුතු කළ විජේවර්ධනයන් ලංකාවේ පමණක් නොව මුළුමහත් ආසියාවේ ම ලාංකීය පුවත්පත් කලාවේ නාමය ප්‍රචලිත කිරීමට සමත් විය. සමාජ දේශපාලන හා සංස්කෘතික පරිවර්තනයන් රැසක් සිදුවූ යුගයක ඉපිද ජීවත් වෙමින් 1950 ජුනි 13 වැනි දින විජේවර්ධනයන් මෙලොවින් සමුගත්තේ නිදහස් ස්වෛරි ශ්‍රී ලංකාවක පහස ද විඳගනිමිනි. කැලණි ගං ඉවුරේ සේදවත්ත ග්‍රාමයේ දී මෙලෙස උපන් මේ කොලුගැටයා මතු දිනෙක ආසියාවේ පුවත්පත් සමාගම් හිමි ව්‍යාපාරිකයන් අතර යෙහෙන් වැජඹෙන මහා ප්‍රබුද්ධ පෞරුෂයක් වන බව එදින කවුරුත් නො සිතන්නට ඇත.

 

Written by: Harith Kulathunga

Reference:

  1. Special supplement of “Silumina” Newspaper (2005, April 3)
  2. https://www.sundayobserver.lk/2017/02/19/features/patriot-who-challenged-colonialism-through-printed-word

Image courtesies:

 
Tagged : /