නොවේවා යළි මතු දකින්නට!

Share

හැම මුහුණක ම අලුත් බලාපොරොත්තුවක්! අලුත් සිනහවක්! ඔව්, එදා දවසත් අලුත් දවසක්; 2019 වසරේ අප්‍රේල් 21!

උතුම් ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය වූ දිනය සමරනු වස් කිතුනු බැතිමතුන් තම පූජනීය ස්ථාන වෙත පිය නැගුවේ නැවුම් සිතකින්. කිම ද, ‘පාස්කු ඉරිදාව’ එතරම් ම හදවතට සමීප දිනයකි. ඔරලෝසුවේ කටු පවා දෙගිඩියාවකින් කැරකුණ සේයාව කිසිදු ඇසක නො ගැටුණේ මහා අවාසනාවකට බව නම් නොරහසකි. උදෑසන 08.45 කණිසම සියල්ල උඩු යටිකුරු කළ විනාශයක පෙර මං බලා සිටි බව තේරුම් යන විටත් ප්‍රමාද වී තිබුණි.

මිහිතලය නුහුලන මහා අපරාධයක දෝංකාරය වියැකෙන්නට ඉඩක් නො තබා ම ජීවිත ඉල්ලා නගනා දෙදුරුම් දෙන විලාප හඬ වා තලයට මුසු විණි. සියල්ල නිමේෂයකින් කණපිට පෙරළුණු, මහා දරුණු විනාශයක් සිදු වූ දිනයක් ලෙස ‘පාස්කු ඉරිදාව’ ඉතිහාසයට එසේ එක් වී අද දිනට වසර දෙකකි.

වසර දෙකක් නික්ම ගියත් අදටත් ඒ විලාප හඬ අප හදවත්වල දෝංකාර දෙන්නේ, නුදුරු අතීතයේ දී අප රට තුළ දුටු ම්ලෙච්ඡතම මිනිස් සංහාරය එය වන බැවිනි. ලේ පිපාසයෙන් මත් වූ රකුසු කැළකගේ ග්‍රහණයට නතුව ජීවිතයෙන් සමු ගත් සහෘදයින් වෙනුවෙන්, අදටත්, හඬා වැළපෙන නෙත්, සදාකාලයට ම ආබාධ වී විඳවනා සිත්, බියෙන් මුසපත් වී සුසුම්ලන හදවත්, තවමත් ඒ මතකයෙන් ගැලවීමට අපොහොසත් වීම තුළ, අප්‍රේල් 21, ඉතිහාසයේ අඳුරු දිනපොතට නිමාවක් නැති හේතු දක්වන බව පැහැදිලි ය.

කවුරුන් කොහොම කෙසේ කීවත්, මෙම ප්‍රහාරයේ වගකිවයුත්තා අන් කිසිවෙක් නොව, මිනිසා ය. මිනිස්කමට නිගා කරන, වෛරයෙන් දැවෙන විකල් වූ මනස් ඇති නූතන මිනිසා ය. තවත් ජීවිතයක වටිනාකම නො හඳුනන, අවඥාවෙන් වෙළී ගිය මිනිසා ය. හුදෙක් ම මිනිස් වෙස් ගත් මිනිස් රකුසන් ය.

මහා අඳුරු අතීත දවසක් එසේ නිමා වුවත් තව දුරටත් මෙය සිදු නො විය යුතු ය. මිනිස්කමට ගරු කරන්නට, ප්‍රේම කරන්නට උගත යුතු ය. තවත් වතාවක් දරුවන්ට දෙමාපියන් අහිමි නො විය යුතු ය. දෙමාපියන්ට දරුවන් අහිමි නො විය යුතු ය.

මේ දේශය රැකෙන්නට නම් සැවොම එකා මෙන් මිනිස්කම රැකිය යුතු ය. වියරු වැටී නොවැදගත් දේ පසුපස හඹා නො යන, ගුණදහමින් පෝෂණය වූ, භේද නො තකන මතු පරපුරක් බිහි විය යුතු ය.

එමෙන් ම මේ සියලු කාරණා වැදි බණ නො විය යුතු ය.

එසේ වුවහොත් මෙසිරිලක මිහිපිට පාරාදීසයක් වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බව නොඅනුමාන ය.

එබැවින්, ඔවුන් වෙනුවෙන්, නො ඉපදුණු පරපුර වෙනුවෙන් එකම පැතුමක්, දෙවියනි!  ඔබ අසල හිඳ පතන්නෙමි අද…

‘නොවේවා යළි මතු දකින්නට

ලේ සුවඳ සොයනා රකුසු කැළ

රැකේවා මේ ලෝ තලය සත

සැනසෙමින් දහමේ අරුත දැක !’ 

 

Image Courtesy: https://bit.ly/3aoZXca

 
Tagged : / /