නෙත් වශී කළ අයස්කාන්තිය – ඇල්ල රොක්

Share

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ඉතාමත් සුන්දර වූ ඇල්ල ප්‍රදේශය, දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් නිරතුරුව පැහැර ගන්නා සංචාරක කලාපයකි. එසේ ම කඳු තරණ අත්දැකීම් ලබා ගැනීමට ප්‍රිය කරන්නෙක් නම්, ඔබ යා යුතු ම දර්ශනීය කඳුකර පරිසරයක් ලෙසට ද ඇල්ල නගරය හැඳින්විය හැකි ය. ශ්‍රී ලංකාවේ “පොහොසත් ම කඳුකර ගම්මානය” ලෙසට ඇල්ල ග්‍රාමය නම් දරා සිටිනුයේ ද එයට සාක්ෂ්‍ය වශයෙන් ම විය යුතු ය.

සිතියම සඳහා පිවිසෙන්න.

  • සංචාරය සිදු කළ දිනය – 10.06.2020
  • බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට පවතින දුර – 205 km

සංචාරකයෙකු වශයෙන් ඔබගේ ගමන් මං දිනපොතෙහි සනිටුහන්ව තිබිය යුතු ම ගමනාන්තයක් ලෙසට මම  ඇල්ල රොක් හඳුන්වා දෙමි. පූනාගල කඳු වැටි කෙළවර පිහිටා ඇති මෙම ස්ථානය සොබාදම් ගුණයෙන් සුපෝෂිත සංවේදී පරිසර කලාපයකි. අඩි 500කටත් වඩා වූ උසකින් පිහිටි මෙම භූමි මට්ටමට සමීප වීමට නම් එය තරණය කිරීමට ඔබට පැය දෙකක පමණ කාලයක් ගත වනු ඇත. ඇල්ල රොක්හි මුදුනත දර්ශනයට, කඳු බෑවුමේ නැම්මත්, ත්‍රාසජනක හැඟීම් දනවන්නා වූ පහළත බෑවුමත් එක් කරනුයේ, එහි ගොස් ම මිස විඳ ගත නොහී ආකාරයේ නවමු මිහිරියාවකි. සිහිලැල් වූ ඇල්ලෙහි මා විඳි පරිසර අත්දැකීම මෙලෙස සනිටුහන් වනුයේ ද එම විඳීම නැවත නැවතත් ලැබීමට මා සිත්හි ඇති නොනිම් ආශාව නිසා ම යැයි මට හැඟේ.

ඇල්ල සංචාරයත්, දුම්රිය ගමනත් අතර ඇත්තේ වෙන් කර දැක්විය නොහැකි, ආවේණික ආකාරයේ බැඳීමකි. තම වාහනයකින් කඳු පාමුල සමීපයට ගොස්  ඇල්ල තරණය කිරීම පහසු වුව ද එහි ඇති විචිත්‍රත්වය අත්විඳීමට නම් ඔබ දුම්රිය ගමනාන්තයකට ම යොමු විය යුතු බව මගේ අදහසයි.

කතා කර ගත් ආකාරයෙන් ම ගමනේ ආරම්භය වූයේ පේරාදෙණි ස්ටේෂමයි. එය රාත්‍රී ගමන් වාරයක් නිසා ම, නුහුරු සුන්දරත්වයත් සිත් තුළ වූයේ නිරායාසයෙනි. සිකුරාදා රාත්‍රියක් වූ නිසා දුම්රියපළ කාර්යබහුලව තිබු නිසා කෑකොස්සන් ගැස්මටත් විනෝද වීමටත් අප තුළ වූ අපේක්ෂාවන් ද ශට් ඩවුන් වූ බව දන්නේ ද අප ම පමණකි. පුරුදු පරිදි ම කොළඹ-බදුල්ල මේල් දුම්රිය, රාත්‍රි 11.45 පමණ වන විට පේරාදෙණියට පැමිණියේ ය. වැඩ මුර අවසන්ව නිවෙස් බලා යන්නන්ගෙන් ද අප වැනි ම සති අන්ත සංචාරකයින්ගෙන් ද තැන තැන පොදි ගැසී සිටි ඇල්ල, ඔහිය, ඉදල්ගස්හින්න බලා ගිය කොලු කෙලි රංචු අතුරින් ද නැගී ආ සිනාවන්, කොක්හඬලීම්, ගී සින්දු ආදියෙන් ද දුම්රිය මැදිරියේ ඉඩ ඇහිරී තිබිණි. නාවලපිටියට ළඟා වන තුරු ම එසේ ය. එල්ලා ගත් මුහුණින් ඇද කර ගත් කටින් හුන් අප සංචාරක කල්ලිය උන්නේ ද මාර ම සැපේ ය.

නාවලපිටිය පසු පසු කළ දුම්රිය තම මැදිරි හිස් කරමින් හූ තලන්නට වූයේ මැදියම් අහස ම කූද්දමිනි. මැදිරි ටිකෙන් ටික හිස් විණ. හා හා පුරා කියමින් ගමනේ වැඩ අල්ලන්නට අප තීරණය කළේ ද ඒ නිසා ම ය. වේලාව මැදියම පසු වී පළමු පැය ලෙස සනිටුහන්ව තිබූ බව මතක ය. ඇතැමෙකු වූයේ මර නින්දේ ය. නමුත්, ඒ නින්දත් අහිමි කර ගන්නට සිදු වූ එදා කෝච්චි පෙට්ටියේ සිටි ඒ ඇතමුන්ලාගෙන් අපි අද දින සමාව අයදින්නෙමු. ඒ අප කල්ලියෙහි වූ ගීත කෝකිල කෝකිලාවන් වෙනුවෙනි. නිදා හුන් පිරිසට අනුකම්පා කිරීම කෙසේ වුව ද අප දුම්රිය මැදිරියෙහි භූමිකම්පා කර වූ බව නම් කිව යුතු ම ය.

ජෙම්බ ගසන්නට අයෙකුත්, විසිල් පිඹින්නට අයෙකුත් සිනාසෙන්නට කෑගසන්නට පමණක් නොව, ඒ අතරේ හරිහමන් සින්දුවක් දෙකක් කියා ගන්නට හැකි අන්දමේ අයෙකුත් වශයෙන් පිරිස් බලයක් අප සතුව තිබිණ. මැදිරියෙහි වූ බොහෝ කණ්ඩායම් අප වටා එක්කාසු වූයේ ද එනිසා ම විය යුතු ය. එම හෝරා කිහිපයේ අපි සින්දු කීමු. හැකි අයුරින් නැටීමු. නොනිමෙන කතා ගොඩකට මුල පිරුවෙමු. එයින් නොනැවතී රොටියකට මැදිවුණු නයි මිරිස් සම්බෝලයකින් යළිදු පණ ලැබීමු. හිස් වූ වතුර බෝතල් අතැතිව මෝඩයින් සේ නයි මිරිස් ගිල නොදැමිය යුතු බවට පාඩම් ද උගෙන ගතිමු. (ස්ටේෂන් දෙක තුනක් පසුවන තුරුත් වතුර බිඳකුදු අතෙහි නොවූ අපට  ඉවසීම යනු වචනයක් ම පමණක් බව ද ලියා තබනු කැමැත්තෙමි.)

මැදියමේ නිමාව අපව ඔහිය දුම්රියපළට රැගෙන ආයේ ය. අලුයම 4.30, 5.00 පමණ වන විට අප සිටි පසින් නැඟ ආ හිරු මොහොතකට සියල්ලන් අතරමං කරවීය. විශ්වයේ ඇති සියලු පැහැ රැඳී තැවරී ගිය අහසක් වේ නම් ඒ ඔහිය අහස ම විය යුතු යැයි සිතිණි. ළා කළුවරක සිට අහස වෙනස් වෙමින් ඒකාලෝක වන සැටි බලා හිඳින්නට ලස්සන ය. උදා හිරු රැස් මුහු වූ කඳු පන්ති නෙත්වලට ගෙන ආයේ සැහැල්ලු කාන්තියකි.

අනතුරුව ඉදල්ගස්හින්නට සේන්දු වූ අපි, දුම්රිය දොරකඩෙහි හිරිගඬු නංවන හීතල විඳිමින් සිරි නැරඹීමු. වටපිටාව ම අපි අපේ ම කර ගතිමු.

ඇල්ල රොක් නැඟීමට කිතල් ඇල්ල ස්ටේෂමෙන් වුව බැස ගන්නට හැකි වුව ද අපායට ගිය ද බඩ කට පුරවන් යන අපේ ඈයෝ උදෑසන ආහාරය ලබා ගැනීමේ පහසුව නිසාවෙන් ම උදෑසන 7.00 පමණ වන විට ඇල්ල ස්ටේෂමට ළඟා වීමු.

හීතල උදෙන් ම උදෑසන ආහාරය ලබා ගත් පිරිස, තවත් බිස්කට් පැකට් කිහිපයක් මලුවල බහාගෙන කිතල් ඇල්ලට ළඟා වූයේ රේල් පාර දිගේ ම ය. එතැන් පටන් ඇල්ල රොක් පිවිසුමට සේන්දු වූයේ ද ඇවිද්ද පය දහස් වටී තියරියෙන් ම ය.

ගමනාරම්භයේ දී මේකත් කන්දක්දැයි සිතුණු අපට ටික මොහොතකින් මහන්සි දැනෙන්නට වූයේ බොහෝ කලකට පසු මෙවන් ගමනක යෙදුණු නිසා වන්නට ඇත. මඟින් මඟ කඩින් කඩ ගිමන් හරිමින් ගමන් ගත් අපට අපගේ ගමනාන්ත උස්බිම සහ ලිට්ල් ඇඩම්ස්පීක් මනස්කාන්ත අයුරින් පෙනෙන්නට වූයෙන් අපගේ විඩාවන් සංසිඳී ගියේ ක්ෂණයකිනි.

හොඳ හොඳ සෙල්ලම් පසුවන ජාමෙට කීවාක් මෙන් ගමනේ අපහසු ම පියවරයන් එලෙස ඇරඹිණි. විඩාවක්, කාන්සියක් නොවූයේ නඩයේ වූ සැමට සිනාලා සෙට් එකට පින් සිදු වන්නට ය. හයිකින් මෝටිවේටර්ස්ලාගේ පටන් දණගාන බඩගාන සියල්ලන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම හෝරා දෙකකට පමණ පසුව කඳු මුදුනට ළඟා වූයේ සියලු බැරිබැරියාවන් පසෙක තබමිනි.

අංශක එකසිය අසූවකට සියල්ල වෙනස් කළ හැකි බැව් අසා තිබුණ ද අත්දැකීමෙන් දැන ගත්තේ එදින ය. ඉදිරියෙන් දිසුණු 180° ක දර්ශන තලය ගෙවා ආ දුර වෙහෙස යනාදී සියල්ල අමතක කරවන සුලු විය. සොබාදම මෙතරම් ලස්සන ඇයිදැයි ලෝබකම් සිතෙනුයේ මෙවන් විටෙක ය.

කඳු ගැට මුදුන්හි කඩමණ්ඩීන්ට මම කවදත් ආශා කරමි. සාමාන්‍ය මිලට වඩා මිල වැඩි වුව ද එහි වූ කුඩා කඩයෙන් වතුර බෝතලයක් දෙකක් සතුටු සිතින් මිල දී ගන්නට ද අපි අමතක නොකළේ ඔවුන් දිනපතා එහි ඉහළ පහළ නගින බැව් මතක් කර ගනිමිනි.

එතැනට ඉහළින් වූ රාවණා ඇල්ල දර්ශනය වන වීව් පොයින්ට් එක පිළිබඳව දැන ගන්නට ලැබුණේ එහි දී ය. දෙවරක් නොසිතා ම කල්ලිය පෙළ ගැසුණේ ගමනක අඩුපාඩු ඉතිරි කර නැවත හැරිය යුතු නොවන වග පවසමිනි. ටර්පන්ටයින් යායකි. හීතල මුහු කියා නොහෙන හැඟුම් සමුදායකි. පරිසරයේ වූයේ ද හරිත පැහැ හා දුඹුරු පැහැය ම පමණකි. ගස් මුදුන්හි අතු ඉතීහූ අහසෙහි වූ නීල පැහැය ද සොරා ගති. ජීවිතයේ සොඳුරු ම හෝරා කිහිපයක් ගෙවා දැමුවෙමි. අපි ඉදිරියට ම ගමන් කළෙමු.

පෙර දර්ශනයට වඩා මෙය තවත් සිත් ගන්නා සුලු විය. ඇල්ල නගරය ඈතින් දිසිණි. රාවණා ඇල්ලේ ඉහළ කොටස ද මනාව පෙනිණ. නමුදු ඒ වැහි වලා අපට හරස්වන වේලාව වන තුරු පමණි. අනතුරුව ඇද වැටුණේ මන්දාරම් වැහිකඩකි.

වැහි වැටෙන හවසක කඳු පල්ලම් නැඟ බැසීම ඇත්තෙන් ම දුෂ්කර ය. ටර්පන්ටයින් අතු ඉති කොහොමත් තෙත ය. ඒ අතරට මීදුම එක්කාසු වූ විට තවත් සීතල ය. කෙසේ හෝ දුෂ්කර ගමනකින් පසු කඳු පාමුලට පැමිණි අපි දුම්රියපළට විත් බදුලු කෝච්චියක නැගුණෙමු.

මඩ තැවරී තෙතබරිත වී සිටි හෙයින් මේ අයුරින් තවදුරටත් ගමන් කළ නොහැකි බැව් වටහා ගත් අපි බදුල්ලට පැමිණ ඇඳුම් මාරු කරගෙන හවස තුනට පමණ මහනුවර බසයක නැඟී මතක ඇහිඳ පරිස්සම් කොට ගත් එකම එක ගමනකට සමුදුනෙමු.

එකමත් එක දවසක් එකමත් එක වරුවක් හිත්හි දරාගෙන ජීවිතයක් පුරා සිනාසිය හැකි බැව් මම දැන් දනිමි. ගමනට එක්වුණු සසන්ත, බුද්ධිනී, නයෝමි, සංජේ, ලහිරු, නවීන්, විමංසනී, සානික අයියේ, පසන් අයියේ.. ස්තුති කරන බවත්, ආදරේ බවත් නොකීයා ම බැරි ය. ඒ.. ඇල්ලට දිවෙන මාවතක් මාවතක් පාසා හිනා එක්කාසු කළේ නුඹලා ම වන බැවිනි.

Written By Janani Chathurya

Image Courtesy: Janani Chathurya

 
Tagged : / / /