රාත්‍රී තැපැල් දුම්රියේ ඇල්ලට නිවාඩුවක්

Share

කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට 132.1 km දුරින් පිහිටා ඇති ඇල්ල යනු  සුන්දර කඳු පන්තීන්ගෙන් සමන්විත ශ්‍රි ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයට ලක්වන ලෝ සුපතළ ස්ථානයක් බව ඔබහට අමුතුවෙන් මතක් කළ යුතු නොවේ. එමෙන් ම උඩරට දුම්රිය මාර්ගයේ ඔබ කොළඹ සිට ඇල්ලට සංචාරය කරන්නේ නම් ඔබට වෙරළබඩ සිට මධ්‍යම කඳුකරය දක්වා වූ විවිධ පරිසර කලාපවල වෙනස හොඳින් වටහාගත හැකි වනු නොඅනුමානයි. ශීත දේශගුණයකින් සමන්විත ඇල්ල ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යය විඳගනිමින් ආරුක්කු 9 පාළම (Nine Arch), ඇල්ල කන්ද තරණය, පුංචි සිරීපාදය (Little Adam’s peak), රාවණා ඇල්ල, දෙමෝදර රේල් ගැටය ආදී ස්ථානයන්හි සංචාරය කිරීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වනුයේ මෙම ප්‍රදේශයේ පවතින මන බඳිනා පරිසර තත්ත්වය නිසාවෙනි. තව ද  කඳු හෙල් මැදින් වැටී ඇති දුම්රිය මාර්ගයේ අසිරිය විඳ ගැනීමට ද සංචාරකයෝ මහත් සේ ප්‍රිය කරති.

සිතියම සඳහා පිවිසෙන්න.

  • සංචාරය කළ දිනය: 2022.04.05
  • බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපළේ සිට දුර: කි.මී. 132.1

ඉතින් මේ සූදානම් වනුයේ කොළඹින් රාත්‍රී තැපැල් දුම්රියේ පිටත් ව ඇල්ල ප්‍රදේශයේ අප යෙදුණා වූ දින 4ක සොඳුරු සංචරයේ විස්තර ඔබවෙත ගෙන එන්නයි.

පෙර සූදානම් වී කතිකා කරගත් පරිදි  කොළඹ කොටුවෙන් බදුල්ල බලා රාත්‍රී 8.30 ට ගමන් ආරම්භ කරන රාත්‍රී තැපැල් දුම්රියේ ගමන පිටත් වීමට, රාත්‍රී 7.00 පමණ වන විට 26ක් වූ අප ගමන් නඩය කොටුව දුම්රිය ස්ථානයට එකතු විය. ඒ අප්‍රේල් මස 5 වන දින වූ අතර එලෙස එකතු වූ අපගේ අරමුණ වූයේ ගමන පිටත් වීමට ප්‍රථම රාත්‍රී ආහාරය ලබා ගැනීමයි. ආසන්නයේ පිහිටි ආපනශාලාවක් තෝරාගත් අප රාත්‍රී ආහාරය පිණිස නිවසින්  රැගෙන ආ ආහාර අනුභව කර ගමනට සූදානම් වූ අතර පසුව රාත්‍රී 8.00 පමණ වන විට වේදිකාවට පැමිණි තැපැල් දුම්රියේ කලින් වෙන්කරගත් තුන්වන පන්තියේ ආසන සොයා ගොස් ඒවායේ අසුන් ගත්තෙමු. අප වෙන්කරගත් ආසන මැදිරි 2ක වූ නමුත් එය එතරම් ගැටලුවක් නොවුණි. මන්ද යත් අවශ්‍ය නම් සෙසු මගීන් සමඟ කතා කර ආසන හුවමාරු කරගත හැකි වූ නිසාවෙනි. එබැවින් බොහෝ දෙනා එක මැදිරියකට වී කාලය ගත කළහ. රාත්‍රී 8.30 වන විට නලා හඬවා ගමන් ආරම්භ කළ දුම්රිය ක්‍රමයෙන් ඉදිරියට ඇදෙන්නට වූයේ ගමනට එක්කාසු වූ අප සියළු දෙනාගේ සිත් තුළහ සතුට පුරවමිනි.

රාත්‍රී දුම්රිය ගමන ඉතා ආශ්වාදජනක එකක් විය. අතරමඟ ස්ථාන කිහිපයක සිටි තවත් යහළුවන් කිහිපදෙනෙක් දුම්රිය එක්කර ගනිමින් ඇල්ල බලා රාත්‍රිය පුරා ගමනේ යෙදෙන අප හට තවත් යහළුවන් පිරිසක් හමුවිය. ඒ අප ලෙසින් ම තවත් සංචරයක යෙදෙන මල්ලිලා පිරිසකි. ඔවුන්ගේ ද ආසන අප මැදිරියේ ම වූ අතර ඔවුන් ද අප සමඟ එක් වූයේ කලින් දැන හඳුනගෙන සිටි යහළුවන් පරිද්දෙනි. කමින්, බොමින්, නටමින් පිරිසක් විනෝද වන අතර එයට එක් වූ තව පිරිසක් පසුව කාඩ් සෙල්ලමට යොමු වූයේ මැදිරියේ බිම ද ඉඳගනිමිනි. බොහෝ වෙලාවක් මෙලෙස නටමින්, සින්දු කියමින් විනෝද වූ පිරිස ක්‍රමයෙන් විඩාවට පත් ව අසුන් වල හිඳ ගත්ත ද විවිධ දෑ කතා කරමින් කාලය ගත කරන ලද නමුත් කිහිප දෙනෙක් නින්දට ද පිවිසුණහ. මේ අතර කාඩ් ක්‍රීඩාව නම් සෑහෙන වෙලාවක් ගෙන යාමට එම සෙල්ලමේ යෙදුණ කණ්ඩායම සමත් වූහ. සියල්ලන් ම ක්‍රමයෙන් නින්දට යද්දී ගමනේ වූ උද්දාමය නිසාදෝ නින්ද නොගිය තවත් පිරිසක් අවදියෙන් පසු වූ අතර තවත් පිරිසක් නිදා ගැනීමට වෑයම් කරනු ද දක්නට ලැබුණි. නමුදු මේ කිසි ම ප්‍රශ්නයක් නොමැති ව සැප නින්දේ පසු වූ තවත් පිරිසක් සිටි අතර ඔවුන් සිටින ආකාරය අප හට ගෙන ආවේ සිනහවකි. මේ වන විට පාන්දර 1 ට ආසන්න වී පැවති අතර නිදා සිටින අයගේ ඡායාරූප ගැනීමට ද පිරිසක් උත්සුක වූහ.

මේ වන විට දුම්රිය පේරාදෙණියට පැමිණ තිබූ අතර වසා තිබූ එක් දොරක් විවෘත කර ගත් මමත් තවත් යහළුවෙකුත් සිටියේ දොර අසළට වී කතා බහේ නිරත වෙමිනි. රාත්‍රී අදුර කපාගෙන ඉදිරියට ඇදෙන දුම්රිය දොරෙන් හිස යොමා බලන විට අවට පරිසරය ඉතා මනරම් ව දිස් විය. තව ද අඳුර මැදින් පෙනෙනා දුම්රිය ප්‍රධාන ලාම්පුවේ ආලෝකය අප හට ඒත්තු ගැන්වූයේ මෙම දුම්රිය දිගින් කොතරම් වැඩිද යන්නයි. කඳු අතරින් වංගු ගැසෙමින් ඉදිරියට ඇදෙන දුම්රිය දෙස කෙතෙක් වෙලා බලා සිටිය ද ඇති නොවේ. එමෙන් ම ගත දැවටෙනා සිසිල් සුළඟ නිදිමත පැමිණීම ද වළකාලයි. මෙලෙස බොහෝ වෙලා දොර අසළට වී කතා බහේ නිමග්න වෙමින් සිටි අපි ද පාන්දර 3 පමණ වන විට මැදිරියට පැමිණ මඳක් නිදා ගත්තෙමු. කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ පසු හැල්මේ ගමනේ යෙදුණු දුම්රිය පාන්දර 5ට පමණ එක් ස්ථානයක නවත්වා බොහෝ වෙලා බලා සිටියේ ඉදිරියට යාමට සිග්නල් ලැබෙන තුරු ය. එයට හේතුව වී තිබුණේ ප්‍රදේශය පුරා පැවති ඝන මීදුම් තත්වයයි.

ක්‍රමයෙන් එළිය වටෙන්නට විය. මේ වන විට සියළු දෙනා අවදි ව සිටි අතර ඈතින් සිරිපා කන්ද දර්ශනය වන්නට වූයේ ක්‍රමයෙන් මීදුම පහ ව ගිය නිසාවෙනි. ඉතා මනරම් ව විදුලි ආලෝකය සහිත මාර්ගය සමඟ ඈතින් දිස්වන එම දර්ශනය නෙත් සිත් පැහැර ගත්තේ ය. ක්‍රමයෙන් හිරු උදාව සිදු වූ අතර අවට පරිසරයේ අසිරිය මනා හොඳින් දිස් වන්නට විය. අප ඒ වනවිට සිටියේ තේ වත්තක් ආසන්නයේ වූ අතර එය පරිසරයට එක් කළේ අපූර්ව සුන්දරත්වයකි. රාත්‍රියට වඩා ඒ වන විට සීතල ඉතා වැඩි ය. උදෑසන 6.30 පමණ වන විට සිග්නල් ලැබුණු කෝච්චිය නැවත ගමන් ඇරඹීය.

පරිසරයේ සුන්දරත්වය විඳ ගැනීම සඳහා නැවත දොර අසළට වූ අපගේ සිරුර හමා එන අයිස් වන තරම් සීත සුළඟින් නැහැවිණි. එසේ මුත් උත්සාහය අත් නොහැරි අප දොරේ හිඳගෙන පරිසරය විඳින්නට විය. හරිත පැහැ තේ වතු, කුඩා ජනවාස, කඳු හෙල් මෙන් ම කුඩා දුම්රිය ස්ථාන පසු කරමින් ඉදිරියට ඇදෙන්නට වූ කෝච්චිය ලොකු, කුඩා බිං ගෙවල් රාශියක් පසු කරමින් ගමන් කරන්නට විය. බිං ගෙයට ඇතුළු වෙමින් පිටවීම දොර අසළ සිටි අප හට මහත් සතුටක් වූවා සේම අතරමග වූ පරිසරයේ අසිරිය ද නොමඳ ව විඳ ගත්තෙමු. කඳුකර ප්‍රදේශයේ පරිසරයේ උදෑසන  සුන්ඳරත්වය වචනයෙන් විස්තර කිරීමට අපහසු ය. එය ඔබ ම විඳ ගත යුතු ය.

                                                                                                                        ක්‍රමයෙන් අප පට්ටිපොළ දුම්රිය ස්ථානයට ළඟා විය. මෙතෙක් වෙලා රඹුක්කන සිට පසු පසින් ධාවනය කළ එන්ජිම ද මෙහි දී ඉදිරියට ම ඈඳන ලදී. මේ වන විට හිරු අහසට නැග තිබූ බැවින් සීතල බොහෝ සෙයින් පහ ව ගොස් තිබුණි. තවමත් අප දොර අසළට වී අවට නරඹමින් පසුවුණෙමු. පට්ටිපොළින් නැවත ගමන් ආරම්භ කළ අප ඉදිරියට ඇදෙන්නට වූයේ පෙර සඳහන් කළ අන්දමේ ම මනරම් පරිසරයන්  පසුකරමිනි.

මේ අන්දමින් ප්‍රධාන දුම්රිය නැවතුම්පළවල් කීපයක් පසු කරමින් අප ඇල්ල දුම්රිය ස්ථානයට ආසන්න වූ බැවින් දොර අසළින් ඉවත් ව නියමිත ස්ථානය වූ ඇල්ල දුම්රිය ස්ථානයෙන් බැසීමට ලැස්ති වූයෙමු. පුරා රාත්‍රියේ පැය 12කට අධික කාලයක් ගමනේ යෙදුණු අප ගමනාන්තය වූ ඇල්ල දුම්රිය ස්ථානයට සේන්දු වූයෙමු. එතෙක් වෙලා අප සමඟ සිටි යහළුවන් පිරිසෙන් සමුගත් අප කෝච්චියෙන් බැස ගත්තෙමු.

ඇල්ල දුම්රිය ස්ථානය සැබැවින්ම නෙත සිත පිනවන මනරම් පරිසරයක පිහිටා ඇත.කඳු පන්තීන්ගෙන් වටව ඇති මෙම පරිසරයට උදෑසන හිරු කිරණ ගෙන ආවේ චමත්කාරයකි.

මඳ වෙලාවක් දුම්රිය ස්ථානයේම ගත කළ අප ඉන් පිටතට පැමිණියේ නවාතැන් ගැනීම සඳහා පෙර සූදානම් කරගත් ස්ථානය බලා යාමටයි. එම ස්ථානය ඇල්ල නගරයට නුදුරින් පිහිටා තිබූ අතර නයින් අර්ච් සහ පුංචි සිරීපාදයට ආසන්න ස්ථානයක් විය. දුම්රිය ස්ථානයේ සිට ඇල්ල නගරයට ඉතා කෙටි දුරක් පැවති අතර නගරයට පැමිණි අපි උදෑසන ආහාරය සඳහා අවශ්‍ය දෑ අසළ පිහිටි කඩයකින් ලබාගෙන නවාතැන්පළ දෙසට දිවෙන බසයක නැග ගත්තෙමු. මඳ වෙලාවකින් නවාතැන පිහිටි ස්ථානයට ළඟා වූ අතර බසයෙන් බැසගත් අපි කෙටි දුරක් පයින් ගෙවා දමමින් නවාතැන වෙත ළඟා වුණෙමු. මේ වන විට මඳක් දහවල් වී තිබුණු බැවින් ගමන් මළු ආදිය නවාතැන් ගන්නා කාමරයේ තබා මුහුණ කට සෝදා යුහුසුලු ව උදෑසන ආහාරය ලබා ගත්තේ ඇල්ල ප්‍රදේශයේ අපගේ සංචාරය ඉතා ඉක්මනින් අරඹන අරමුණෙනි.

සංචාරයේ යෙදෙන අප පළමු දිනය වෙන් කර තිබුනේ ඇල්ල කන්ද තරණය කිරීමට ය. උදෑසන ආහාරයෙන් පසුව අවශ්‍ය කළමනා පමණක් රැගෙන නවාතැනෙන් පිටත් වූ අප පයින් ම ඇල්ල නගරයට පැමිණියේ මඳ වැස්සේ ය. එය ද එක්තරා අත්දැකීමක් වූ අතර අවට පරිසරයේ සිරි විඳගනිමින් පිරිස ගමනේ යෙදුණහ. නගරයට පැමිණි අප ප්‍රධාන පාරෙන් ඉවත් ව අතුරු පාරක ගොස් පිවිසියේ දුම්රිය මාර්ගයටයි. මෙතැන් පටන් ඇල්ල කන්ද තරණයට ප්‍රථම යෙදී තිබූ “රේල් හයික්” එක ඇරඹිණි. රේල් පාර මැද කතා බහ උසුලු විසුලු කරමින් ගමනේ යෙදුණු අප හට පැවති වැසි නිසා තෙතබරිත වී තිබූ පරිසරයේ සිටි යහළුවන් පිරිසක් හමුවිය. ඒ කූඩල්ලන් ය. ප්‍රහාරයට ලක් වූවන්ගේ කෑ ගැසීම් අන් අයට අවධානයෙන් යෑමට නිතර  මතක් කර දෙන ලදී. මෙලෙස සැලකිය යුතු දුරක් ගමනේ යෙදුණු අප මුහුණ දුන් තවත් එක් සිදුවීමක් සඳහන් කරනු කැමැත්තෙමි. දුම්රිය මඟේ එක් ස්ථානයක පාලමක් ආසන්නයේ අප හමුවට ආ දුම්රිය  අප පසු කර ගියේ එම ස්ථානය පටු ස්ථනයක් වූ බැවින් පස්කණ්ඩියට හේත්තු වී සිටි අපගේ මුහුණු ගාවින් ය. එය අප බොහො දෙනාගේ මතකයේ සඳහන් වූ අමතක නොවන සිදුවීමක් ය.

රේල් පාරෙන් ඉවත් වූ අප කන්ද නැගීම සඳහා කුඩා ඇලක් උඩින් වැටුණු පාලමෙන් එතර ව තේ වතු මැදින් වැටී තිබූ පාරේ ගමන් ආරම්භ කරන ලදී. සැබවින් ම පාලමෙන් එතෙර වූ මොහොතේ පටන් එය නැග්මක් සහිත මාර්ගයක් වූ අතර ක්‍රමයෙන් අපි ඉහළට නගින්නට වූයෙමු. තේ වතු මැදින් වැටී ඇති මෙම අඩි පාරේ ඉහළට නගින අපට හමු වූයේ කුඩා තේ කඩයකි. එම ස්ථානයේ නැවතී මඳක් ගිමන් හළ අපි උණුසුම් තේ එකකින් ප්‍රබෝධමත් වූයෙමු. මෙම අවස්ථාවේ ප්‍රදේශය ම වසාගනිමින් ඝන මීදුමක් පැතිරුණේ සිහින් පොද වැස්සකින් අප තෙමාලමිනි. සැබැවින් ම එය මීදුමක් නොව අප සිටි ඉහළ කඳුකරයට පහත් වූ වලාකුළක් බව තේරුම් ගියේ මඳ වෙලාවක් ගිය පසු ය. වලාකුළ ඉවත් වී මාර්ගය පැහැදිලි වත්ම නැවත ගමන් ආරම්භ කළ අපි ඉහළට නගින්නට වූයෙමු. මෙලෙස ඉහළ නැගි අපට එක් මුදුන් ස්ථානයකට ළඟා වීමට බොහෝ වෙලා ගත නොවුණි. එම ස්ථානයට අවට පරිසරය ඉතා මනරම් ව දර්ශනය විය. මේ වන විට නැවත වැස්සක ලකුණු පහළ ව තිබූ බැවින් උඩට යන්නේද ආපසු යනවාදැයි මඳ කතිකාවතකින් අනතුරුව අපි ඉහළට නැගීමට තීරණය කළෙමු.

දැන් නැග්ම සිඝ්‍ර ය. එමෙන් ම මාර්ගය ද තෙත බරිත ව ලිස්සන සුලු වූ අතර  නැග්මට තිබුණේ ද ගල්, ගස්වල මුල් ආදී දේ වලට කකුල තබමිනි. වැස්සට ජල පහර මාර්ගය දිගේ ගලා යාම හේතුවෙන් මෙලෙස ගල් මුල් මතු වී ඇත. තව ද මෙහිදී ගල් තලා මත ද ගමන් කිරීමට ඇති බැවින් ඇවිදීමේ දී ප්‍රවේශම් විය යුතු ය. පෙර සඳහන් කළ අන්දමින් තියුණු නැග්ම සහිත මාරිගයේ මමත් තවත් යහලුවෙකුත් ඉදිරියෙන් නගින්නට වූයෙමු. අනෙක් අය පසුපසින් පැමිණෙන බව කටහඬවල්වලින් ඇසිණි. නමුදු තියුණු බෑවුම් නිසා ඔවුන්ව නොපෙනිණි. ‘තව ටික දුරයි’ යනුවෙන් කෑ ගසා කිහිප විටක් පවසමින් අප ඉහළට නගින්නට වූයෙමු. අතරමඟ දී අපට ඉහළ සිට පහළට බසින කණ්ඩායමක් හමු වූ අතර ඒ වන විට අප මුදුනට ආසන්න වී සිටියෙමු. තව මඳ දුරක් ගස් ගල්වලට පනිමින් ලිස්සන සුලු මාර්ගයේ ඉහළට නැග අපි කඳු මුදුනට ළඟා වූයෙමු. කුඩා තැනිතලාවක් වූ එහි වෙනත් පසකින් දිවෙන මාර්ගයක් දක්නට ලැබුණු අතර කුඩා ගොඩනැගිල්ලක්ද පිහිටා තිබුණි.

එම සථානය පසු කරමින් අප ඉදිරියට නෙරා ගිය කඳු මුදුනට ළඟා වුණෙමු. නැවත වතාවක් පහත් වූ වලාකුළක් හේතුවෙන් අවට පරිසරය ම ඝන මීදුමකින් වැසී පැවති අතර සිහින් පොද වස්සක් පතිත වන්නට විය. මඳක් මීදුම පහ ව යත් ම අවට දර්ශනයන් පැහැදිලි විය. පහළින් පෙනෙන ප්‍රපාතය මෙන් ම ඈතින් පෙනෙන කඳු පන්තීන් ගෙන ආවේ වචනයෙන් විස්තර කළ නොහැකි චමත්කාරයකි. මඳ වෙලාවක් එහි  රැඳී සිටිමින් ඡායාරූප ගනිමින් විඩා හළ අප නැවත ඒමට පිටත් වුයේ මතක ගොන්නක් ද සමඟිනි. පැමිණි මාර්ගයේ ම ආපසු බැසීම ආරම්භ කළ අපට වඩා ප්‍රවේශම් වන්නට වූයේ ලිස්සන සුලු මාර්ගයේ බැසීම වඩා අපහසු වූ බැවිනි. එකිනෙකාට උදව් කරගනිමින් තියුණු බෑවුමේ බැසීම අවසන් කළ අපි ක්‍රමයෙන් කන්ද බසින්නට වූයෙමු.

පැමිණි මාර්ගයේ ම නැවත රේල් පාරට පැමිණි අප එම මඟ දිගේ ම නැවත ඇල්ල නගරයට පැමිණෙන විට ඇඳිරි වැටීමට ආසන්න වී තිබිණි. අසළ  කඩයකින් තේ පානය කර පැමිණෙන විට කළුවර වැටී තිබූ අතර ඒ වන විට නගරය පුරා විදුලි පහන් දල්වා ආලෝකමත් කර තිබුණි. සැබවින් ම එය මනරම් දර්ශනයක් විය. නේක වර්ණ විදුලි බුබුළුවලින් නගරය නැහැවී ගොසින් පැවති අතර එය මනස්කාන්ත, සිත් ඇද ගන්නා සුලු දසුනක් විය.

ඒ වන විට නවාතැන පිහිටි ස්ථානයට යෑමට බස් නොමැති වූ අතර දහවල් පැමිණි ආකාරයට ම පයින් ගමන් කර අපගේ නවාතැන වෙත රාත්‍රී 8 ට පමණ වන විට ළඟා වීමට සමත් වීමු. කඩිනමින් ඇඟ සෝදා පිරිසිදු වූ අප රාත්‍රී ආහාරයෙන් පසුව කාඩ් සෙල්ලම් කරමින් විනෝද වුණෙමු. පසුව පිරිස නින්දට වන් අතර මධ්‍යම රාත්‍රියේ සිදු කළ මගේ උපන්දින සැමරුමත්, තවත් සිනාහඬින් කාමරය පිරී ගිය ක්‍රියාවකුත් මෙන්  ම පසු දා උදෑසන මට සිදුකළ පිටි ප්‍රහාරයත්, ඒ හේතුවන් පැය බාගයක් පමණ උදෑසන අයිස් වන් වතුරෙන් නෑමට සිදු වීමත් අනිවාර්යෙන් සිහිපත් කළ යුතුම ය.

මේ සංචාරයේ 3 වන දිනයයි. ඉක්මනින් සූදානම් වූ අප නවාතැනෙන් පිටත් ව  පාරට පැමිණ බසයක නැගුණේ ඇල්ල නගරයට යෑමටයි. අපගේ අරමුණ වුයේ නගරයෙන් උදෑසන ආහාරය රැගෙන අනතුරු ව පුංචි සිරීපාදය කන්ද තරණය කිරීමයි. යුහුසුලු ව උදෑසන ආහාරය ගත් අප පුංචි සිරීපාද කන්ද වෙත යාමට පිටත් වුයේ නැවත 11.50 වන විට නයින් ආර්ච් වෙත යා යුතු වූ බැවිනි. ඒ එම වෙලාවට ඒ මතින් කෝච්චියක් ගමන් කිරීමට තිබුණු නිසාවෙනි. ආපසු නවාතැන පිහිටි මාර්ගයේ ම මඳ දුරක් පැමිණෙන විට පුංචි සිරිපා කන්ද වෙත යාමට මාර්ගය පිහිටා ඇති අතර ඒ ආසන්නයේ ම නයින් අර්ච් වෙත වැටී ඇති මාර්ගයක් ද වේ. පාරෙන් ඉවත් ව කන්ද වෙත යන අප මඟ දෙපස සුන්දරත්වය විඳ ගැනීමට අපි අමතක නොකළෙමු. කන්ද තරණය ආරම්භ කළ අපට ගමනේ මුල් භාගයේ වැඩි අපහසුවකින් තොරව යාමට හැකි වුයේ පඩිපෙළ් පැවති නිසාවෙනි. නමුත් මඟක් ගිය විට පඩි අවසන් වූ අතර සාමාන්‍ය අඩි පාරක් දිගේ ඉහළට නැගීම ආරම්භ කරන ලදී. මෙම මාර්ගයේ සමහර තැන් බෑවුම වැඩි වන නමුත් වැඩි අපහසුවකින් තොර ව ඉහළට නැගීමට හැකි විය. ප්‍රථමයෙන් කඳු මුදුනට ළඟා වූ අප හට තවත් කඳු මුදුනක් එහායින් පවතින බැව් පෙනී ගියේය.

 

කාල වේලාව ප්‍රමාණවත් නොවේ යැයි කියා එම කඳු මුදුන වෙත යාම කළ නොහැකි යැයි මත පළ වුව ද, මෙතෙක් වෙලා සෙසු පිරිස කඳු මුදුනට ළඟා වී නොතිබුණු හෙයින් මුලින් ම එහි නැගුණු අපි තිදෙනා අනෙක් කඳු මුදුන ද තරණය කිරීමේ අරමුණෙන් පිටත් වීමු. සැබැවින් ම  එය සිතූ තරම් ලේසි පහසු කටයුත්තක් වූයේ නැත. අප සිටි මුදුනේ සිට රළු තියුණු බෑවුමක් බැසිය යුතු වූ අතර එය කෙතරම් තියුණු ද යන්න කෙළින්ම වගේ පහළට අඩි පාර පෙනීමෙන් වැටහී ගියේ ය. නමුදු උත්සාහය කිසි විටක අත් නොහළ අපි එම බෑවුම බැස අනෙක් කඳු මුදුන තරණය කිරීම ආරම්භ කළෙමු. එය ද පහසු කටයුත්තක් නොවුණි. රළු මාර්ගයක් වූ එය තරණය කිරීම විටෙක මඳක් අපහසු විය. විශාල ගල් පර්වත තරණය කරමින් බෑවුම අද්දරින් මාර්ගය වැටී තිබුණි. නමුත් එම අත්දැකීම නම් විශිෂ්ට ය. දෙවන කඳු මුදුනේ දර්ශනය ද පළමු කඳු මුදුන තරම් ම චමත්කාරජනක ය. ඈතින් පිහිටි කඳු පන්තීන්, කඳු අතරින් වැටී ඇති මහා මාර්ගය මෙන් ම පෙරදින අප තරණය කළ ඇල්ල කන්ද ද මෙම ස්ථානයට හොදින් දර්ශනය විය. මඳ වෙලාවක් රැඳී සිටීමෙන් අනතුරු ව නැවත පැමිණීමට පිටත් වූ අප තිදෙනා පැමිණි මාර්ගයේ ම ආපසු පළමු කඳු මුදුන වෙත ළඟා වුණෙමු. ඒ පෙර සඳහන් කළ මාර්ගය නැවත වතාවක් තරණය කරමින් ය.

ඒ වන විටත් අපගේ මිතුරන් පිරිසක් එහි රැඳී සිටි අතර තවත් පිරිසක් නයින් ආර්ච් වෙත යාමට පිටත් ව ගොස් ය. පළමු කඳු මුදුනේ මඳ වෙලාවක් රැඳී සිටි අපි අවට නැරඹීමෙන් අනතුරු ව නැවත පැමිණීමට පිටත් වූයෙමු. ඉක්මනින් ඉක්මනින් කන්ද බැසීම සිදු කළ අපගේ අරමුණ වුයේ පහළ සිටි වේලාසනින් ගිය කණ්ඩායම හා එක් වීමයි. ඉක්මනින් පහළට පැමිණි අපි පිරිස සෙසු සාමජිකයන් හා එක් වූයෙමු. නැවත ගමන ආරම්භ කළ අපි කණ්ඩායම අසළ කඩයකින් ගත් අයිස් ක්‍රීම් කමින් මා මුල දී සඳහන් කළ නයින් ආර්ච් වෙත වැටුණු මාර්ගය දිගේ කැලය මැදින් ගමන් කරන්නට වූයෙමු. මෙම මාර්ගයේ මඳ වෙලාවක් ගමන් කරන විට කැලෑ ගතිය පහ ව ගොස් ඉතා උස ශාක පවතින පෙදෙසක් හමුවන අතර අනතුරු ව හමුවනුයේ තේ වත්තක් ආසන්නයෙන් වැටී ඇති මාර්ගයකි. මඳ දුරක් ගමන් කරන විට ඈතින් නයින් ආර්ච් දර්ශනය වන අතර අප යුහුසුළු ව ගමන් කළේ නියමිත වෙලාවට එම ස්ථානයට ළඟා වීමටයි. කෙසේ හෝ නියමිත වෙලාවට ප්‍රථම ස්ථානයට ළඟා වීමට අපි සමත් වීමු. ඉතා හොඳින් ආරුක්කු 9 පාලමත්, දුම්රියත් පෙනෙන ස්ථානයක නැවතුණු අපි වෙලාව පැමිණෙන තුරු බලා සිටින්නට වූයෙමු.

ඈතින් ඇසුණු නළා හඬ කොච්චිය එන බවට සලකුණ විය. මඳ වෙලාවකින් පැමිණි දුම්රිය පාලම පසුකර ඉදිරියට ඇදුණේ බලා සිටි අපගේ ඇස් පුරවාලමිනි. එය ඉතා මනස්කාන්ත දර්ශනයක් විය. එය නැරඹීමෙන් අනතුරු ව පාලම මතත්, ඒ අවටත් ඇවිදිමින් ඡායාරූප ගැනීමේ යෙදුණු අප එම ස්ථානයෙන් නික්ම ආවේ මතක ගොන්නක් ද රැගෙන ය. පාලමේ අනෙක් කෙළවර අසළ වූ කුඩා අඩිපාරක් තරණය කිරීමෙන් අපට නවාතැන්පළ ආසන්නයේ මාර්ගයට පිවිසීමට හැකි විය. කඩිමුඩියේ නවාතැනට පැමිණි අප බඩු බාහිරාදිය ද රැගෙන නික්මුණේ අපගේ මීළඟ ගමනාන්තය වූ රාවණා ඇල්ල නැරඹීමට යෑමටයි.

බසයක නැගී ඇල්ල නගරයට පැමිණි අපි වැල්ලවාය දෙසට ධාවනය වන බස් රථයක නැගී කෙටි දුරක් ගමන් කිරීමෙන් අනතුරු ව මාර්ගය අසළ ම පිහිටි රාවණා ඇල්ල වෙත ළඟා වීමට සමත් වීමු. රාවණා ඇල්ලේ සිරි නැරඹීමෙන් අනතුරු ව අපගේ අරමුණ වූයේ නා ගැනීමයි.නමුත් මෙම ස්ථානයේ වතුරට බැසීම අවදානම් සහගත ක්‍රියාවකි. මන්ද යත් ඇල්ලේ ජලය ඉතාමත් සුලු කාලයක දී එක වරම වැඩි විය හැකි බැවිනි. එම නිසා ඒ අසළ තිබූ පීලි දෙක භාවිතා කරමින් අප ස්නානයේ යෙදුණේ මහත් ප්‍රීතියෙනි. නමුදු මෙම ජලය ද ඇඟ අයිස් කරවන තරම් සීතලකින් යුතු බව ද සිහිපත් කරනු කමැත්තෙමි. එසේ වුවත් එය නම් නෑමේ යෙදුණු කිසිවෙකුත් බාධාවක් කර ගත්තේ නැත. සැබැවින් ම එය අමුතු ම ආශ්වාදයකි. සීතල ජලය ස්නානයෙන්  අනතුරු ව එතෙක් පැවති විඩාබර ගතිය ද පහ ව ගියේ ය. පසුව එම ස්ථානයේ ඡායාරූප ගැනීමෙන් අනතුරු ව ඇල්ල නගරයෙන් පැමිණෙන විට රැගෙන ආ දහවල් ආහාරය ලබා ගත් අප නැවත බසයක නැග ඇල්ල නගරය වෙත පැමිණීමට පිටත් වුණෙමු.

දැන් එළඹ ඇත්තේ ඇල්ල සංචාරයේ ඇල්ල ප්‍රදේශයේ ගත කරන අවසන් හෝරා කිහිපයයි. සියල්ලන්ගේ ම සිත් කොනක පුංචි දුකක් පැවතුණේ ඇල්ල හැර යාමට කාලය ආසන්න වෙමින් පැවති නිසාවෙනි. මන්ද යත් රාත්‍රී 7.00ට ඇල්ලට ළඟා වීමට නියමිත ව තිබූ, බදුල්ලෙන් පිටත්ව කොළඹ බලා ගමන් කරනා රාත්‍රී තැපැල් දුම්රියෙන් අප පිටත්ව යා යුතු ව තිබුණි. නමුදු බොහෝ දෙනා දුක යටපත් කර ප්‍රීතියෙන් පසු වූයේ පුරා දෙදිනක් පුරා ඇවිද ලැබූ අත්දැකීම් මෙන් ම මතකයන් නිසාවෙනි. වැසිබර කාලගුණය නැවතත් සක්‍රීය ව පැවතීම නිසාවෙන් අප ඇල්ල නගරය වෙත ළඟා වන විට දැඩි මීදුම් තත්ත්වයක් පැවතියේ ය. එය කෙතරම් ද යත් ඉදිරියේ මීටර කිහිපයක්වත් පැහැදිලි ව දැක ගැනීමට අපහසු විය. බසයෙන් බැස හිරිපොද වැස්සේ ම ඉදිරියට ඇදුණු අප දුම්රිය ස්ථානයට ළඟා වූයෙමු. මීදුම ක්‍රමයෙන් තව තවත් ඝන විය. සිහින් පොදක් ද වැටෙන්නට වූයේ අප පිට ව යාමට අකමැත්ත ප්‍රකාශ කරන අයුරෙනි. දුම්රිය ස්ථානයට පිවිස ගමන් මළු ආදිය එක් තැනක ගොඩ ගැසූ අප ඉන් පිටතට පැමිණියේ සීතලේ උණුසුම් කෝපි කෝප්පයක රස බලන අරමුණෙනි. නේක විදුලි බුබුළුවලින් මෙන් ම ස්වභාවික දෑවලින් අලංකාර කර තිබූ එක් කඩයක උඩුමහලේ අප කිහිපදෙනා බිව් එම කෝපි කෝප්පය ඇත්තෙන් ම මිහිරි ය. එම ස්ථානයේ මඳ වෙලාවක් ගත කළ අප එතැනින් නික්ම නැවත පැමිණියේ දුම්රිය පැමිණීමට වෙලාව ආසන්න වී පැවති නිසාවෙනි.

මඳ වෙලාවක් ප්‍රමාද වූ දුම්රිය ඝන මීදුම කපාගෙන වේදිකාවට සේන්දු විය. කඩිමුඩියේ අපගේ ගමන් මළු රැගෙන මැදිරියට ගොඩ වූ අපි වෙන් කළ අසුන්වල අසුන් ගත්තෙමු. මෙවර ද පැමිණීමේ දී සිදු කළ අයුරින්ම සෙසු මඟීන් සමඟ ආසන හුවමාරු කරගැනීමට අපට හැකි විය. මඳ වෙලාවක් වේදිකාවේ නවතා තිබූ දුම්රිය නළා හඬ නිකුත් කර තිරිංග බුරුල් කළේ පිටත්ව යන බව හඟවමිනි. මෙතෙක් වෙලා සංචරයේ යෙදුණු ඇල්ල ප්‍රදේශයෙන් නික්ම යාමට දැන් කාලය එළඹ ඇත. කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදුණු දුම්රියත් සමඟ අප පිටත් ව ආවේ අත්දැකීම් මෙන් ම කිසිදා අමතක නොවන මතක ගොන්නක් ද පොදි බැඳගෙන ය. තෙදිනක සංචාරයේ කිසිඳු විඩාවක් නොපෙන් වූ පිරිසක් මැදිරිය පුරා කාඩ් සෙල්ලම් කරමින් විනෝද වන්නට වූහ. ඒ අතරතුර විඩාවට පත් ව සිටි පිරිසක් නින්දට වැටුණහ. මධ්‍යම රාත්‍රිය පමණ වන තුරු කෙළිදෙලෙන් ගත කළ පිරිස ක්‍රමයෙන් නින්දට වැටුණහ. කොච්චිය පාන්දර අලුයම වන විට කොළඹට ආසන්න වෙමින් පැවතුණි. මේ වන විට අවදි ව සිටි අප වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිරිසක් බස්සවා, ක්‍රමයෙන් කොළඹ බලා ගමන් කරන්නට වූ අතර නැවතත් දොර අසළිට ගිය මමත් යහළුවාත් අවට පරිසරයේ සිරි නරඹමින් කාලය ගත කළෙමු. පෙරවරු 7 පමණ වන විට මරදාන දුම්රිය ස්ථානය පසු කරමින් අප කොළඹ කොටුවට පැමිණියේ සංචාරයේ 4 වන දින වන විට එතෙක් අප යෙදුණු සතුට, ප්‍රීතිය, එකමුතුකම සපිරි නැවුම් අත්දැකීම් මෙන් ම මතකයන් රැසක් ද සමඟින් සංචාරය අවසන් කරමිනි. කොටුව දුම්රිය ස්ථානයෙන් විසිරී ගිය අපි නිවෙස් බලා පිටත් වූයෙමු.

මෙම සටහන කියවන ඔබට අවසාන වශයෙන් වැදගත් යමක් සිහිපත් කරනු කැමැත්තෙමි. අප සංචාරය කළ සෑම ස්ථානයක් ම ස්වභාව සෞන්දර්යයෙන් අනූන, නොමඳ සංචාරක ආකර්ෂණයට ලක් වූ ස්ථාන වේ. ඉදින් ඔබත් මේ ස්ථානවල සංචාරය කරන්නේ නම් පා සටහන් පමණක් තබා පැමිණීමට කාරුණික වන්න.

 

Image Courtesy: Author

 

 
Tagged : / /