බැතියෙන් සිහි කරමු වටිනාකම් මෙලෙස…

Share

තුසිත දෙව් ලොව වැඩ සිටි අප මහා බෝසතාණන් වහන්සේ දෙවිවරුන්ගේ ආරාධනාව ගෞරවයෙන් පිළිගෙන, සකල සත වෙත මෛත්‍රියෙන් මනු ලොව ඉපදීමට සිතා, ඊට සුදුසු කාලය, දේශය, දීපය, කුලය හා මව පිළිබඳ ව තීරණයකට ඒ වන විටත් එළඹ සිටියෝ ය. එකල සිය වාසනා මහිමය ගැන නො දත්, කිඹුල්වත් නුවර සුද්ධෝදන රජතුමාගේ අග මෙහෙසිය වූ මහමායා දේවීන් වහන්සේ, කවුළුවෙන් ගලා ආ සෞම්‍ය සඳ කිරණින් රිදී පැහැ ගැන්වුණු යහන් ගැබ සැතපී සිටියේ සුවබර දරු සිහිනයක මදහසක් මුවග රඳවාගෙන ය.

සුදු පියුමක් මුදු සුදු සොඬයෙන් ගෙන

සුදු ඇත් පොව්වෙක් රිදී පව්ව බැස

තෙවරක් පැදකුණු කර සයනය වට

සුරත් පසින් වැඩියේ මව් කුස වෙත

එයින් තිස් වසරක් ගෙවී ගොසින් ය. එදා මහමායා දේවිය දුටු පිළිසිඳ ගැනීමේ සිහිනයේ පලාඵල පරිදි ම, උත්තම ගුණයෙන් යුක්ත වූ, සිත් සනසන රුවෙන් පිරිපුන් වූ, පින්වත් සිද්ධාර්ථ කුමාරයන් සභා ගර්භයේ අසුන් ගෙන සිටියේ පහන් හැඟුමක් සිත් හි දරා ගෙන නම් නො වේ. පෙර දිනක දුටු නිමිති සතර නිසා ඇති වූ කැළඹීම හා කළකිරීම, කුමරුන් රස නො විඳින නියා දැක නෘත්‍ය දර්ශන නවතා දමා තැන තැන වැටී නිදනා නාටිකාංගනාවන් දැක්මෙන් තවත් තීව්‍ර විය. “මේ බියකරු සසර ගමනේ අවසානයක් කොහි වේ ද?” සිද්ධාර්ථ කුමරුන් අසුනින් නැඟී සිටියේ ලෝක සත්ත්වයා කෙරෙහි වූ අපරිමිත දයාවෙන් පරාර්ථය ම උදෙසා කැපවන තිර අදිටනත් සමඟින් ය.

රාහුල පුතු මගෙ බිම්බා තුරුලේ

කුර හඬ නැවතිණි අනෝමා තීරේ

මා සිත නැත සැනසුම සඳ එළියේ

එහෙයින් සත්‍ය සොයා යා යුතු වේ

සත්‍යගවේශී ව ගත කළ සය වසරකින් අනතුරුව සියලු කෙළෙස් සහමුලින් ප්‍රහාණය කොට සම්මා සම්බුද්ධත්වයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ පිරිසිඳ දැනගත් ධර්මතාවයේ දුරවබෝධබව හමුවේ පළමුව ධර්මය දේශනා කිරීමට මන්දෝත්සාහී ව සිටිය ද, සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනාව මත, මනුෂ්‍ය ප්‍රජාව එක් එක් මට්ටම්වල පිපුණු පද්මයන් ඇති විලකට උපමා කොට දකිමින්, දුෂ්කර ක්‍රියා කළ සමයේ තමන් වහන්සේට උවටැන් කළ පස්වග තවුසන් උදෙසා ධර්මය දේශනා කිරීමට බරණැස ඉසිපතන මිගදාය බලා වැඩම කළ සේක.

කම් සැප ද රළු ව්‍රත ද මිසදිටුයි, හැරලන්න

මැදුම් පිළිවෙත් පුරන අරි අටඟි මඟ ගන්න

සිව්සස් නැණින් බලා නිවන් සුව විඳ ගන්න

අවිදු දුරලා ඇදෙන ‘තුම් දහම් සක මෙන්න

දිව් තල ගිගුම් දුන් සාධුකාර මැද අමයුරු වූත්, කලණ වූත් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වුණු එදින, රාත්‍රි ඇසළ සඳ පායා නැගෙන විට ත්‍රිවිධ රත්නය ම පහළ වී ගෞතම බුද්ධ ශාසනය පරිපාකයට පත් විය. එම මිගදායේ දී ම, ප්‍රථම වස් කාලය ගත කළ බුදුරදුන් ඇතුළු සංඝයා වහන්සේලා පසුව ධර්ම ප්‍රචාරය සඳහා ගම් නියම් ගම් බලා පිටත් වූහ.

ඉන් සත් වසරක ඇවෑමෙන් එළඹුණු වස්සාන සමයේ දී බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව වැඩ සිටි, තමන් වහන්සේට ජන්මය ලබාදුන් මාතෘ දිව්‍ය පුත්‍රයා හට පරම සත්‍යය හා නිර්වාණ මාර්ගය අවබෝධ කරවා අනන්ත වූ කළගුණ දක්වනු වස් අභිධර්මය දේශනා කළ සේක.

ලොවක් කම්පා කළ අමා මෑණි බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු තෙමසක් ගත විය. අජාසත් රජතුමාගේ අනුග්‍රහයෙන් වේහාර පර්වත සප්තපර්ණී ගුහා ගර්භය සූදානම් වී තිබුණේ ශාසන ඉතිහාසයේ ප්‍රථම ධර්ම සංගායනාව උදෙසා ය.

අනඳ, කසුප් මහ තෙරවරු සඟ ගණ පන්සිය රැස්වුණු

මුල මැද අග දම් විසිතුරු පහදාගෙන විනය කරුණු

සත් මස් සුගයා එළඹුණු පරම්පරා වෙත පැවරුණු

දහම් විනය සමඟ මෙයුරු සසුන බොහෝ කල් සුරැකුණු

දඹදිව මෙන් ම ලක්දිව බෞද්ධ ශාසනය තුළ ද බෞද්ධයන්ගේ සිත් හි බුද්ධාලම්බන ප්‍රීතියත්, ශ්‍රද්ධාවත් වඩවන ඓතිහාසික සිදුවීම් රැසක් ඇසළ පුන් පොහෝ දිනට සමගාමී ව සිදු වී ඇති බව කිව මනා ය.

හෙළ සඟ සසුන ඇරඹිණි අද වන් දිනක

මුල්ගල් තැබිණි රන්මාලි සෑ රදුට

දළදාගමනයෙන් ආසිරි ලක්දිවට

බැතියෙන් සිහි කරමු වටිනාකම් මෙලෙස

එළඹෙන සෑම පොහෝ දිනයක් පාසා අප ඉතිහාසය ඇසුරු කර ගනිමින් වැදගත් සිදුවීම් විවරණය කරන්නේ ඒ තුළින් වර්තමාන ජීවිතයේ අත්දකින නොයෙකුත් අභියෝග ජය ගැන්මට අවැසි ධර්මානුකූල මාර්ගෝපදේශනයක් ලබාගැනීමටයි. එහෙයින් මේ පින්බර ඇසළ පොහෝ දිනත්, අපි ස්වාර්ථය පමණක් නො සලකා පරාර්ථය ද පෙරටු කරගනිමින්, නිවැරදි දැක්මෙන් යුතු ව ධර්මයෙහි හැසිරීමට ඉටා ගනිමු. එකල්හි නොඅනුමානයෙන් ධර්මය විසින් අප ද රැකෙනු ඇත.

පින් සිසිලෙන් නැහැවෙන අසිරිමත් ඇසළ පොහෝ දිනයක් වේවා!

 

Image link: https://bit.ly/3rr4ge5

 
Tagged : / /