නම දුටු පමණින් ඔබට සිහිපත් වන්නේ කුමක් ද? ඔව් ඔබ නිවැරදි යි. ඔබට සිහිපත් වුණේ කුමාරතුංග මුනිදාසයන්ගේ පියසමර කෘතිය විය යුතුයි. මා මෙම ලිපියට එම නාමය භාවිතා කළේ ඇයි? හේතුව මෙය පියවරුන් සම්බන්ධයෙන් මා ලැබූ අත්දැකීමක් පිළිබඳව තබන සටහනක් වීමයි. මෙය එක් පියෙකුට නොව මුළුමහත් පිය පරම්පරාව සම්බන්ධයෙන් ම සත්‍යක්.
සැබවින්ම මේ සටහනට හේතු කාරක වූ සිද්ධිය සිදුවී දැනට ටික කාලයක්. නමුත් මේ සටහන තැබීමට තරම් විවේකයක් ලද විගසමයි මා මෙය ලිවීම ආරම්භ කරන්නේ.
ඔහු මගේ අඹ යාලුවෙක්. මට ඔහුගේ පියා නැතිවුණු ආරංචිය ලැබුණේ අනපේක්ෂිත මොහොතකය. එම පුවත ලද විගසම මා දිවගියේ ඔහුගේ නිවසටය. ඇත්තටම මට එය හොඳින් හුරුපුරුදු තැනක්.
මගේ මිතුරා ගේට්ටුව අසලම සිටියා. ඔහුගේ මුහුණේ තිබුනේ මා කිසිදිනක දැක නොමැති දුක්බර බවක්. එය වසාගනිමින් මා දුටු විගස ඔහු සිනහවක් නඟා ගැනීමට උත්සහ කරත් එය ඔහුගේ සුපුරුදු මඳහසට සමාන වුණේ නැහැ. එම සිනහව දුටු විට මගේ නෙතඟටත් කඳුළු උනා එනවා මට දැනුණා. පසුව මා ඔහු සමඟින් ඔහුගේ පියාට අවසන් ගෞරවය දැක්වීමට දේහය තැම්පත් කර තිබූ ස්ථානයට ගියා. මගේ මිතුරා වැඩ කටයුතු සහ එන යන අය ගැන බැලීම නිසා කාර්යබහුලවයි සිටියේ. ඔහුගේ කාර්යයන්ට බාධාවක් නොවන ලෙස මා පසෙකට වී සිටියා.
ඔහුට මා සමඟ කථා කිරීමට තරම් ඉස්පාසුවක් ලැබුනේ රෑ බෝවූ විටය. සැබවින්ම අප හමුවුණේ දිගු කාළෙකින් වුණත් ඒ අවස්ථාව සුහද කථාබහකට සුදුසු වුනේ නැහැ. ඔහු සුපුරුදු මඳහස නඟාගැනීමට අසාර්ථක උත්සාහයක යෙදෙමින්ම කථාව ආරම්භ කළා. ඉස්සෙල්ලම මගෙන් ඇහුවේ කොහොමද උඹේ අම්මට කියලා.
කතාබහේදි ඔහු කිව්ව දේවල්…ඒ දේවල් අපේ භාෂාවෙන් කිව්වොත් බොක්කටම වැදුණා. ඒ කිව්ව දේවල් තමයි මේ සටහන ඔබ හමුවේ තබන්නට හේතුව වන්නේත්.
“තාත්ත මේ පාර ගොඩාක් අසනීපෙන් හිටියේ බන්. මේ පාර serious කියලා කිව්වා. කාලෙක ඉඳන් අසනීපයෙන් නේ හිටියේ. ඒ වෙලාවල් වලදි මම ළඟ ඉඳලා කෙරෙන්න තියෙන දේවල් කළා. ඒත් තාත්තා සිගරට් බීපු ඒවට…තාත්තගෙ සමහර වැරදි යි කියලා හිතුන දේවල් වලට මම බැනලා තියෙනවා. දැන් ඒ බැනපුවා මතක් වෙද්දි මට වාවන්නේ නැහැ. ඒත් මම බැන්නේ වැරදි යි කියලා මට හිතුන දේවල් වලට වලට. තාත්ත කෙනෙක් ඉඳිද්දි යම්කිසි බරක් ගෙනියනව…ඒක පවුල ගැන වෙන්න පුලුවන්. ජීවිතේ ගැන වෙන්න පුලුවන්. එහෙම දෙයක් ගෙනිච්චා කියලා තේරෙන්නේ එයා ළඟ නැති වුණහම. ඒ අඩුපාඩුව විස්තර කරලා කියන්න අමාරුයි… ඒ වගේම තාත්තලා තමන්ගේ stress එක නැති කරගන්න අපිට තේරුම් ගන්න අමාරු දේවල් කරනවා… සමහර වෙලාවට අපි ඒවා දකින්නේ වැරදි විදියට.. මම උඹටත් කියන්නේ උඹේ අම්මා තාත්තා ගැනත් හොඳට හොයලා බලපන්… මේ වගේ දෙයක් වුණාට පස්සේ ඒ දේවල් එකක් පාසා මතක් වෙනවා… ඒක සෑහෙන්න අවුල්.”
මේ දේවල් කියද්දි ඔහුගේ නෙත් වගේම මගේ නෙතුත් කඳුළින් තෙත් වුණේ මටත් නොදැනීමයි.

මොහොතක් හිතලා බලන්න…
මේ කිව්ව දේවල් කොච්චර දුරට ඇත්ත ද කියලා. සමහර විට ඔබ රැකියාවක් කරනවා ඇති. සිසුවෙක් වෙන්න ඇති. ඒ නිසා කාර්යබහුල වෙන්න පුලුවන්. නමුත් ඔබේ කාලයෙන් බිඳක් දෙමාපියන් වෙනුවෙන් වෙන් කරන්න. ඔවුන් කෑවද? බිව්වද? මඳක් සොයා බලන්න. සමහර විට ඔබගේ අවශ්‍යතා ඉටු කිරීමට ඔවුන් වැය කරන්නේ ඔවුන්ට කෑමට, බීමට, බෙහෙත් ගැනීමට තිබෙන මුදල වෙන්න පුළුවන්. ඔබ හැර ඒ ගැන වෙන කවුරුන් සොයා බලන්නද?
බලන්න ඔබේ පියා දෙස. වෙහෙසකර බවේ සලකුණු මුහුණේ, ගතේ සිත්තම් වෙලා තිබෙනවා ඔබට දැකගත හැකි වේවි. පියවරුන් යනු කිසිවිටෙක තම වේදනාවන් හඬනඟා කියන පිරිසක් නෙවෙයි. නමුත් අප බැලුවොත් ඒ සලකුණු ඕනෑ තරම් දැකගත හැකියි. පියවරුන්ගේ සෙනෙහසත් එසේමයි. එය ඔබට මවකගේ සෙනෙහස මෙන් දැනෙනවා අඩු වෙන්න පුලුවන්. දැනෙනව අඩු වූවත් එයත් මවගේ සෙනෙහසට දෙවෙනි වන්නේ නැහැ.
මා පියසමර යනුවෙන් පියවරුන් ගැන මේ සටහන තැබුවත් මේ කරුණු මව්වරුන්ටත් එලෙසටම වලංගුයි. ඉතින් ඔබ තවමත් ප්‍රමාද නැහැ. සොයා බලන්න ඔවුන් ගැන. ඇතැම් විට ඔබ තෙපලන එක් වදනක් බෙහෙත් පෙත්තකට වඩා ඔවුන්ගේ නිරෝගී බව වැඩිකිරීමට හේතු වේවි.
Image Courtesy: www.google.lk