ජීවිතය නමැති පොතේ පිටු පුරවන කතුවරයන් වන්නේ අපය. ඒ ජීවිත කතාව පරිපූර්ණ, අර්ථවත් දෙයක් වීමට එයට උපමාලංකාර, රූපකාලංකාර යොදනු ලබන්නේ අපගේ දෙමවිපියන් විසින්ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හදවතට දැනෙන ළෙන්ගතුකමෙන් පිරිපුන් අපේ ජීවිතවල ඉටු දෙවියන් අපගේ දෙමව්පියන්ය. මව හැරුණු කොට නියම අර්ථයක් ගළපන්නට බැරිතරම් වචන සමුදායකින් හෙබි අකුරු තුන නම් ‘ තාත්තා’ ය.
පිය සෙනෙහසට සෑහෙන තරම් කවි ගී වැල් තැනුවේ නැතුවාට ඒ සෙනෙහස මනින්නට මිනුම් දණ්ඩක් මෙලොව නැති තරම්ය. මන්ද දෝරේ ගලා යන සෙනෙහසින් ආදරයෙන්, කරුණාවෙන් , දයාවෙන් තම දරුවන්ගේ ජීවිතවල එකම ආරක්ෂකයා වෙමින් දරුවන් වෙනුවෙන්ම අපරිමිත කැප කිරීමක් කරන ඔහු දරුවෙකුගේ ව්‍යසනයකදී වුවද ඒ වේදනාව කඳුළකින් නිමා නොකර කාටත් වඩා ඔහුගේ පපු කැවුත තුළ දරා සිටියේ මඳකුදු වුවද ඔහුගේ සෙනෙහසේ අඩු වීමක් නිසා නොවේ. හුදෙක්ම ඔහුගේ හිත අන් කාටත් වඩා ශක්තිමත් හෙයිනි. එහෙයින් පියෙකු තුළ වූ සෙනෙහස දරුවෙකුගේ හදවතට දැනෙන තරම් නොවුණත් ඔහුගේ ඇස් ඉස් මස් ලේ ඇටමිදුළු තුළට කිඳා බැස ඇති ආදරය හඳුනන්නට නම් ‘තාත්තා’ යන චරිතය තුළ ජීවත් විය යුතුය.
ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක් , ඉංජිනේරුවරයෙක්, නීතිඥයෙක්, කාර්මික ශිල්පියෙක්, කුලී වැඩ කරන්නෙක් , ගොවියෙක් යන මේ ඔ්නෑම වූ භූමිකාවක් නිරූපණය කරන්නෙකු විය හැක. නමුදු ඔහු තම දරුවන් ඉදිරියේ ඒ සියලු දෙයින් බැහැර වී ‘තාත්තා’ යන චරිතයට පණ පොවන තේජාන්විත පෞරුෂයකින් යුත් පවුලේ සෙවණැල්ලයි . එකම රැකවරණයයි. ගසක අරටුව එම ගසේ ශක්තිමත් බවට උරදෙන්නේ යම් සේද තාත්තා ද යනු පවුල යන දැවැන්ත වෘක්ෂයේ අරටුවයි.
දසමාසයක් කුස හොවා අප නොවැදුවත්, රුහිරු කිරි කර පෙව්වේ නැතිමුත් අපේ බඩ කට පුරවන්නට ඔහු දිවා රෑ නොබලා, දෙඅතේ කරගැට මතුවන තුරුම කොපමණක් වෙහෙසෙන්නට ඇතිද?. ඒ වැටෙන වැටෙන හැම දා බිඳුවකම තිබුණේ අපි වෙනුවෙන් කළ කැපකිරීම නොවේද?. එහෙයින් අපේ ජීවිතවල සියළුම බරපැන තම කර මත තබාගෙන අපේ කරදඬු උස්මහත් වන තුරුම කිසිඳු අඩුපාඩුවක් වෙන්නට නොදීමට වගබලාගන්නා ඔහු සත්‍යය වශයෙන්ම උත්තරීතර කර්තව්‍යයක නියැලෙන මුනිවරයකු නොවන්නේද?
Written By ; Nethmi Tharika
Images credits :
https://static01.nyt.com/images/2012/06/15/health/15Well_dad/15Well_dad-tmagArticle.jpg