අම්මාවරුන් පමණ ද මතු බුදු වන්නේ…

Share

අප්පච්චී…
මේ ලෝකෙ සංවේදී ම, අපේ හදවතේ ගැඹුරු ම තැනක තියන වචනයක් තමා අප්පච්චි කියන්නෙ. අම්මගෙ ආදරය වගේ අප්පච්චිගෙ ආදරය පිටතට පේන දෙයක් නෙවෙ යි….  ඒ ආදරය අපූර් ව ම දෙයක්… තුවාලයක් වුනා ම, කරදරයක් වුනා ම අම්මා දුවලා ඇවිත් වැලඳගත්තත් අප්පච්චි ඈතට වෙලා බලන් ඉන්නවා… මොකද එයා කලබල වුනොත් මුළු පවුල ම කලබල වෙනවා, එයා දුක් වුනොත් මුළු පවුල ම දුක් වෙනවා ඉතින් හිත ඇතුළේ කොච්චර වේදනාවක් ගුලි වෙලා තිබ්බත් ඒ වේදනාව හිත පතුළෙ ම තියන් තද කරන් එයා බලන් ඉන්නවා.

මොන හෝ තරමකින් අද මා මෙසේ සිටින්නේ අප්පච්චී නිසා … එය ඔබේ ජීවිත වලදී ද එසේම වන වා නොඅනුමාන ය. කුඩා කල සිදු වූ සිදුවීමක් මට අද මෙන් ම සිහියට නැගේ, ඒ මා පෙර පාසැල් යන අවධිය යි. එකල මහ දෙයක් නොතිබූ අප පවුලේ වාහනය වූයේ පා පැදිය යි. මාමාගේ නිවෙසට ගොස් එන අතරතුර මගේ පාදය බයිසිකලයේ ස්පෝක් කම්බි අතරට සිර වූ අතර අස්ථි මතු වන තුරු විළුභ ආසන්නයෙන් කැපී ගියේ ය. ඔහු මා ඔසවා ගෙන දිව ඇවිදි ආකරයත් ඒ මොහොතේ පවා මහා කලබලයක් හිතේ තිබෙන්නට ඇති වුව ද පෙන් වූ නිශ්චල භාවයත් පුදුමාකාර ය.

අජාසත් කුමරු සිය පියාගෙන් රාජ්‍ය ලබා ගැනීමට සිතා පිය රජතුමාට දස වද දුන් කතාව ඔබ දන්නවා ඇතැ යි සිතමි. අජාසත් කුමරුන්ට සිය පියාණන්ගේ සෙනෙහස ආදරය දැනෙනුයේ තමන් ද පීතෲත්වයට පත් වූ පසු වන අතර වහා සිය පියා නිදහස් කරන මෙන් නියෝග ලබා දුන්න ද ඒ වන විටත් පිය රජතුමා සිය ආදරණීය පුතුගේ ම වද වේදනාවන් නිසා ජීවිතය හැර ගොස් සිටියේය. නමුත් කුමරු කුඩා කල ඔහුගේ ඇඟිල්ලක වූ සැරවා ගෙඩියක් නිසාවෙන් වේදනාවෙන් හඬනා විට පිය රජු සිය මුව තුළ ඔහුගේ ඇඟිල්ල රුවා ගත් බවත්, මුව තුළදී ම සැරවා ගෙඩිය පුපුරා ගිය ද පිය රජු සිය සිඟිති පුතුට වේදනාව දැනේ යයි සිතා මුව තුළ ම ඇඟිල්ල තිබෙන්නට හැරි බවත් අතීත කතාවල සඳහන් වේ. ඒ පිය කෙනෙකුගේ සෙනෙහස යි ආදරය යි… එය බුද්ධ කාලීන භාරතයට මෙන් ම අදට ද නොවෙනස් ය.

ඔබ කවරෙක් වුව ද ඔහු සැමදා ඔබේ ආදරණීය අප්පච්චී ම වනු ඇත.
නමුත් පුතුන් වන අප හට යම් වගකීමක් ඇත… ඒ තවත් අජාසත් කෙනෙකුගේ ජවනිකාවට පණ පොවනවාද .. නැත්නම් සැබෑ පුතෙකු වී සමාජය තුළ ඔබේ වගකීමට පණ පොවනවා ද යන්න යි.

ක්‍රිෂාන්ත එරන්දක මහතා ගායනා කරනා මේ ගේය පද පෙල ශ්‍රී ලාංකික ජන සන්තානය තුළ රැඳී සිටින අප්පච්චී පිලිබඳ සරල ව එහෙත් ගැඹුරින් ඉදිරිපත් කර යි. මේ තුළ කියවෙන්නේ සියලු පියවරුන්ගේ කතාව යි…..

අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පණමට හරවා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුසගින්නේ……..
ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී…
නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී….