අවුරුද්දක්…

Share

අවුරුද්දක් !!! ඔව්, 2020. 02. 17 ඉඳන් අද, 2021. 02. 17 වෙනකල් අවුරුද්දක් ම ගිහිල්ලා. අපි විශ්වවිද්‍යාලයේ කටයුතුවලට සහභාගි වෙන්න අරන් අදට හරියට ම අවුරුද්දක්. ඒත් හිතුවට වඩා ඒ අවුරුද්ද වෙනස් නේද? බලන්න… ඔයාලගෙ අවුරුද්දත් ගෙවුණෙ මෙහෙම ද?

 

ලස්සන ම හීන හැම එකින් එක මැවෙනවා

මසක් ගත වී මිතුරුදම් තදින් බැඳෙනවා

“මියුරු දැහැන”ක සුවය සිත දැහැන් වඩනවා

නුග ගහත් නොසැලී ම අපෙ රහස් රකිනවා

 

ලොව වැළඳගෙන කොවිඩ් සිනා දොර වසනවා

සරසවිය එක් මසක මතකයක තබනවා

බිත්ති හතරක අඳුර දින දින ම දැනෙනවා

සෙමෙස්තර ඔන්ලයින් ලෙසින් හඬ නගනවා

 

නොපෙනෙනා ගුරුතුමා ලෙක්චරේ කරනවා

ඉංගිරිසි අකුරු හැම ඔළුවෙ කරකැවෙනවා

හොයන් සිග්නල් නිතර එළියට ම දිවෙනවා

කරන්ට් එක ගිය දාට නොබලා ම ඉන්නවා

 

කපුටු, බලු, කොවුල් කැල නිතර ගී ගයනවා

පැණි දොඩම්, පිපිඤ්ඤා, මාළු මිල ඇසෙනවා

ඔන් වෙච්චි මයික් කට ක්‍රිකට් ගැන කියනවා

කැමරාව විවර  වුණු අයට තරු පෙනෙනවා

 

සුමට දුරකථනයෙන් අවුරුදුත් මැවෙනවා

ඔන්ලයින් බැති ගීත මූණු පොත සරනවා

අලුත් වුණු මිතුරු කැල කෝ කොයි ද සොයනවා

තාක්ෂණයේ පිහිට ගෙන සුසුම් තවනවා

 

තිරයකින් ඉගැන්වූ නෝට්ස් ගොඩ ගැහෙනවා

ළඟ ළඟ ම සරසවිය ඇරෙන බව පෙනෙනවා

නොසිතු ලෙස යළි එළිය දකින්නට ලැබෙනවා

සරසවියෙ වැසුණු දොර විභාගෙට ඇරෙනවා

 

සිනහ රැඳි හැම මුව ම ‘මාස්ක්’ හිඳ රවනවා

නිතර සැනිටයිසරේ ‘චිස්’ ගගා අඬනවා

නළල ළඟ උණ බලන තුවක්කුව තබනවා

සැවොම වෙන ලොවක සිට ආවෙදැ’යි සිතෙනවා

 

පළමු වසරේ මිහිර අහිමි සිත හඬනවා

යළිත් අප පෙර ලෙසින් හමු වන්න පතනවා

නොකියා ම වේගයෙන් කාලයත් දුවනවා

වසරක් ම මේ ලෙසින් ගෙවුණෙ ඇයි සිතෙනවා

 

ඉතින්, නිදහසේ හුස්ම ගෙන පෙර ලෙස ම හිනාවෙන්න පුළුවන් වෙන දවසක අපි හැමෝම ආයිමත් පාරක් පුරුදු විදිහට හිනාවෙමු.

එතෙක්….. පරිස්සමින්!………….

 

Image courtesy:  https://bit.ly/2LTiwMC

 
Tagged : / /