ජන ක්‍රීඩා-1

Share

ඈත අතීතයේ සිට ශ්‍රී ලාංකීය අප අතර ජන ක්‍රීඩා බොහෝමයක් පැවතුණ ද ඒවා අද වන විට කෙමෙන් අප අතරින් ගිලිහී යනවා ද යන්න සැකයකි. වර්තමාන පරම්පරාව එම ජන ක්‍රීඩා, ඒවායේ ඉතිහාසය හා නිධාන කතා දන්නේ නැති තරම් ය. දැන සිටිය ද ඒ ඉතාමත් අල්ප වශයෙනි. දුවා දරුවන් පමණක් නොව වැඩිහිටියන් ද එම ජන ක්‍රීඩා අමතක කර ඇති යුගයක, අපේ ජන ක්‍රීඩා කිහිපයක් පිළිබඳ ලිපි පෙළකින් ආවර්ජනය කිරීමටයි මේ සූදානම.

ඔළිඳ කෙළිය

පත්තිනි මෑණියන්ගේ ක්‍රීඩාවක් ලෙස නම් දැරූ මෙන්ම රජ කුමරියන් අතීතයේදී දැඩි ලෙස ඇලුම් කළ, “ඔළිඳ කෙළිය”, මෙ සිරිලක පුරා හෙළ කාන්තාවන් අතර ප්‍රචලිතව තිබූ ගෘහස්ථ ජන ක්‍රීඩාවකි.

මෙම ක්‍රීඩාව සඳහා ඔළිඳ ඇට මෙන්ම “ඔළිඳ පෝරුව” නම් වූ වළවල් 7 බැගින් පේළි දෙකකට සකස් කරන ලද වළවල් 14 කින් යුත් ලෑල්ලක් යොදා ගැනේ. එහි වළවල් පේළි දෙකට මැදින් සහ දෙපසින් තරමක් විශාල වළවල් දෙකක් සකසා ඇති අතර ඒවා “ගබඩා කොටු දෙක” නම් වේ.

මෙම ජන ක්‍රීඩාව කවිය හා බැඳී ඇති අතර එම කවි බොහෝමයක් මෙම ක්‍රීඩාව විස්තර කරන විලාසයෙන් ලියා තිබීම විශේෂත්වයකි.

හතේ මුලට මුල වළ                                කෙළපන්නේ
අතේ ඔළිඳ තොර නැතුව                          කෙලින්නේ
නෙතේ බැල්ම තොර නැතුව                        බලන්නේ
දෙන්න දෙපිළ ඉඳ ඔළිඳ                            කෙළින්නේ

මේවර කෙළිය

මේවර කෙළිය ගැමි යුවතියන් අතර ජනප්‍රිය එළිමහන් ජන ක්‍රීඩාවකි. “මේවරය” යනු වළල්ල යි. මෙහිදී ක්‍රීඩාවට සහභාගී වන සියළුදෙනා එළිමහනට විත් වළල්ලක් හෝ එවන් වෙනත් ආභරණයක් බිම කොහේ හෝ තැනක සඟවති. එක් යුවතියක් මේවරය නැති වුණු අය ලෙස නම් කරන අතර සෙසු පිරිස සැඟවූ මේවරය වට වන ලෙසට රවුමට සිටිති. මෙම ජන ක්‍රීඩාව ද එයට ආවේනික වූ කවි වලින් අලංකාර වන අතර මේවරය නැති වූ ලෙස සිටින යුවතිය ගයන්නා වූ කවි වලට පිළිතුරු ලෙස සෙසු පිරිස කවි ගායනා කරති.

මේවරය නැති වූ යුවතිය:
සාර සදිසි පෙති පේර නෙළන කල
වල ගිය දෝ මගෙ මේවරයා

සෙසු පිරිස:
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල්
අපි දුටුවේ නැත මේවරයා

මේවරය නැති වූ යුවතිය:
කොස් වතු කන්දේ කොස් කඩනා දා
වල ගිය දෝ මගෙ මේවරයා

සෙසු පිරිස:
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල්
අපි දුටුවේ නැත මේවරයා…………

මෙම ක්‍රීඩාව කරන ආකාරය පිලිබඳ මේ යැයි නිශ්චිත සටහනක් නොමැති වුව ද, පරම්පරාවෙන් පරම්පරාවට අසා ඇති සහ දැක ඇති පුරුද්දෙන් මෙය දිර්ඝකාලීනව කරගෙන එනු ලබයි.

අවසානයේ,

මෙන්න මෙතන දී මේ සබයේදී
වල ගිය දෝ මගෙ මේවරයා 

කියමින් මේවරය නැති වූ යුවතිය සෙසු පිරිස මග හැර කෙසේ හෝ සඟවා ඇති මේවරය ගැනීමට උත්සාහ කරයි.
එවිට සෙසු පිරිස ඊට ඉඩ නොදී පොරබදයි. කෙසේ හෝ අවසනයේදී මේවරය ගැනීමට සමත් වන යුවතියට දිනුම හිමි වේ.

මෙවන් ජන ක්‍රීඩාවන් කිහිපයක් පිළිබඳ තොරතුරු සමඟින් තවත් ලිපියකින් හමුවෙමු.

References: හෙළ ජන කෙළි සෙල්ලම් – රෝහිණී කුමාරි මුවන්දෙණිය

Image Courtesy:

Featured image- https://bit.ly/3bmjfgV

Content Image –https://bit.ly/3bRG0ZG

 

 

 
Tagged : /