ජන ක්‍රීඩා-2

Share

ජන ක්‍රීඩාව, හෙළ සමාජයේ පැරණි සංස්කෘතික වටිනාකම් සහ උරුමයන් විදහා පාන තවත් එක් වැදගත් අංගයකි. ඒ නිසාවෙන්ම පළමු ලිපියෙන් පැවසූ ආකරයටම තවත් හෙළ ජන ක්‍රීඩා කිහිපයක් පිළිබඳ සැකෙවින් ගෙන හැර දැක්වීමටයි මේ සූදානම.

පංච කෙළිය

සිංහල හින්දු අළුත් අවුරුදු සමයේ ඉතාම ප්‍රචලිතව පවතින ගෘහස්ථ ජන ක්‍රීඩාවක් ලෙස පංච කෙළිය හැඳින්විය හැකි ය. “පංච” යනු බෙල්ලන්ට ද්‍රවිඩ භාෂාවෙන් කියන්නා වූ පදයකි. එයින් හැඟවෙන ලෙසටම මෙම ක්‍රීඩාව සඳහා බෙල්ලන් භාවිතා කෙරේ. අතීතයේදී අප මුතුන් මිත්තන් මෙය පත්තිනි මෑණියන්ගේ ක්‍රීඩාවක් ලෙස පිළිගත් අතර ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව මෙම ක්‍රීඩාවේ යෙදී ඇත. දෙදෙනෙකුට හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකට ක්‍රීඩා කළ හැකි මෙහි පංච පෙතේ ස්වභාවය අනුව නීති රීති වෙනස් වේ. පහේ පෙත්ත සහ දොළොස් පෙත්ත යනුවෙන් පංච පෙත්ත වෙනස් වන අතර මෙම ලිපියේදී පහේ පෙත්ත සමඟ ක්‍රීඩාවේ යෙදෙන ආකාරය ගැන පැහැදිලි කිරීමක් පහත සඳහන් ය.

පහේ පෙත්ත යොදා ගැනිමේදී, කවඩි (බෙල්ලන්) 6ක් සම ප්‍රමාණයෙන් තෝරාගත යුතු ය. බෙල්ලන් සොලවා දැමීමට හා බිම උඩු යටිකුරුව තැබූ පොල් කටු දෙකක් සාමන්‍යයෙන් භාවිතා කළ ද එය අත්‍යාවශ්‍ය නොවේ. මෙසේ සොලවා දමන බෙල්ලන් උඩුකුරුව වැටුණු ගණන “අය” නම් වන අතර කලින් සූදානම් කර ගත් බෙල්ලන් අය තැබීමට යොදා ගනී. ඔණ්ඩුවක් හෝ පංචයක් (1ක් හෝ 5ක්) දැමූ විට “සළු” වූවා යැයි කියයි.

සියළු දෙනාම සළු වීමෙන් පසුව මාරුවෙන් මාරුවට බෙල්ලන් දැමීම සිදු කරයි. මෙසේ දිගටම ක්‍රීඩාව කරගෙන යන අතර, එක ඉත්තෙකු අය 65 බැගින් ගිය පසු ගොඩ දමනු ලැබේ. එහිදී යොදා ගත් සියළු ඉත්තන් ගොඩ දැමූ පසු ක්‍රීඩාව අවසන් වේ.

චක්ගුඩු පැනීම

“චක්ගුඩු පැනීම” අදත් සමහර ගම්බද ප්‍රදේශවල දැකිය හැකි එදවස ගැමියන් අතර ඉතා ප්‍රචලිතව තිබූ ක්‍රීඩාවකි. එය “ගුඩු පැනීම” ලෙස ද හඳුන්වයි.

මෙම ක්‍රීඩාවට සහභාගි වන පිරිස ප්‍රථමයෙන් දෙපිලකට බෙදේ. එම දෙපිලේ ශක්තීන් සමාන විය යුතු ය. බොහෝ විට කාසියක් උඩ දමා පළමුව ක්‍රීඩා කරන පිල තීරණය වේ.

පළමුව ක්‍රීඩා කරන පිලේ එක් අයෙකු (ගුඩු පනින්නා) තම පැත්තේ සිට විරුද්ධ පිලේ පැත්තට “චක් ගුඩු ගුඩු ගුඩු..” කියමින් දුව ගෙන යයි. විරුද්ධ පිලේ ක්‍රීඩකයන් ඔහු මග හැර එහා මෙහා දුවන අතර ඔවුන්ගෙන් යම් අයෙකු ගුඩු පනින්නාගේ ස්පර්ශ වුවහොත්, එම ක්‍රීඩකයා දැවී යයි. කෙසේ හෝ ගුඩු පනින්නා ගැනීමට ද උත්සාහ කළ යුතු ය.එලෙස කෙසේ හෝ කොටු කරගෙන ඔහු ගුඩු කීම නවත්වන තුරුම අල්ලාගෙන සිටියහොත් ගුඩු පනින්නා දැවී යයි. නමුත් ගුඩු පනින්නා නොනවත්වා ගුඩු කියමින් පිටියේ මැද ඉර පෑගුවහොත්, ප්‍රතිපිළ පරාජය වේ.

මෙසේ දෙපිලම මාරුවෙන් මාරුවට ක්‍රීඩාවේ යෙදෙන අතර යම් කිසි පිලක සියලු ක්‍රීඩකයන් දැවී පරාජය වුවහොත් එම පිල පරාජය වේ.

ගිලිහී යන උරුමයක එක් කොටසක් පිලිබඳ දැනුවත් කිරීමට අවකාශයක් ගැනීමට මෙම ලිපි දෙක සකස් කරන ලදී. මෙවන් වූ තවත් බොහෝමයක් ක්‍රීඩා අප ජනශ්‍රැතිය හා බැඳී ඇති අතර ඒවා රැකගෙන මතු පරම්පරාවට දායාද කිරීමට අපි සැවොම වග බලාගනිමු!!!

 

References: හෙළ ජන කෙළි සෙල්ලම් – රෝහිණී කුමාරි මුවන්දෙණිය

Image Courtesy:

Featured image- https://bit.ly/2XfcDg4

Content Image – https://bit.ly/2RepRWg

 
Tagged : /