සියවස් පුරන කොළොම්තොට විදු පීඨය…

Share

“පුතා කැමති ලොකු වෙලා Doctor කෙනෙක් වෙන්න ද? Engineer කෙනෙක් වෙන්න ද?”

“මම නම් කැමති දවසක Scientist කෙනෙක් වෙන්න. පර්යේෂණ කරන්න, අලුත් දේවල් හොයා ගන්න, ඒ දේවල් ගැන ලෝකෙට ම කියන්නයි මම නම් කැමති.”

සියවසක්, එහෙමත් නැත්නම් අවුරුදු සියයක් කියන්නෙ ලේසි පහසු කාලයක් නම් නෙවෙයි. ඒ අතරිනුත් ගෙවුණු අවුරුදු සියයක කාලය ඇතුළත සමාජමය වශයෙන්, දේශපාලනික වශයෙන්, සංස්කෘතිකමය, තාක්ෂණික ආදී කවර ක්ෂේත්‍රයක වුවත් සිදු වුණු විපර්යාසයන් සුළුපටු නැහැ. ඒ විපර්යාසයන්, යුග පෙරළීම් හමුවේ අවිච්ඡින්න ව තම ගමන ආ ශ්‍රී ලංකාවේ පැරණිතම සහ අංක එකේ විද්‍යා පීඨය අද තම සියවන ජන්ම දිනය සමරනවා. රටට, ලෝකයට සුවිශිෂ්ට චරිත බොහොමයක් දායාද කළ ඒ පින්බිම ගැනයි මේ අතීතාවර්ජනය…

ඒ බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රයට නතු ව ලාංකිකයන් දිවි ගෙවූ යුගයයි. යටත් විජිත රජය විසින් වර්ෂ 1857 දී ඉන්දියාව තුළ විශ්වවිද්‍යාල ස්ථාපනය කිරීම අරඹන ලද නමුත් විසි වන සියවයේ මුල් අවධිය වන විටත් ලාංකේය විශ්වවිද්‍යාල අධ්‍යාපනය නඟා සිටුවීම පිළිබඳ උනන්දුවක්‌ ඔවුන් වෙත වූ බවක්‌ නො පෙනුණි. එලෙස ම ජාතියේ හෙට දවස ලි‍යැවෙන්නේ අනාගත පරපුරේ අධ්‍යාපනික ශක්‍යතාවන් තුළින් බවත්, ඒ වෙනුවෙන් පෙරමුණ ගත යුතු බවත් මනා කොට අවබෝධ කර ගත් ශ්‍රීමත් ජේම්ස් පීරිස්, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු සහ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් වැනි උගත් ප්‍රභූ පාන්තිකයන් විසින් වර්ෂ 1906 දී ලංකා විශ්වවිද්‍යාල සංගමය (Ceylon University Association) පිහිටුවා ගත් අතර ලංකා විශ්වවිද්‍යාල කොලීජිය (Ceylon University College) පිහිටුවීමට එවකට ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි එඩ්වඩ් මැකලම් ව පොළඹවන ලදී.

Image 01: ශ්‍රීමත් ජේම්ස් පීරිස්, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු සහ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්

විශ්වවිද්‍යාල කොලීජිය පිහිටුවීම පිළිබඳ සොයා බැලීම සඳහා මැකලම් ආණ්ඩුකාරවරයා පත් කළ MacLeod කමිටුව විසින්,

  • පොදු උසස් අධ්‍යාපනය
  • පුහුණුව සඳහා ගුරුවරුන්ට කලා හා විද්‍යා පාඨමාලා
  • වෛද්‍ය සිසුන් සඳහා රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හා ජීව විද්‍යාව පිළිබඳ මූලික පුහුණුව
  • රාජ්‍ය අනුග්‍රහය සහිත ව නේවාසිකාගාර පහසුකම්

යනාදී වූ මූලික නිර්දේශයන් ඉදිරිපත් කරන ලදී.

Image 02: ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි එඩ්වඩ් මැකලම්

ආණ්ඩුකාර මැකලම්ගේ අනුමැතිය යටතේ යටත් විජිත භාර ලේකම්වරයා සහ බ්‍රිතාන්‍ය අධ්‍යාපන මණ්ඩලය වෙත යොමු කෙරුණු මෙම යෝජනාවලිය ක්‍රියාවට නැංවීම, ආණ්ඩුකාර රොබට් චාමර්ස්ගේ කාලය තුළ ඇරඹුණු අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල, ලංකා විශ්වවිද්‍යාල කොලීජිය පිහිටුවීම සඳහා සුදුසු ස්ථානය ලෙස හඳුනා ගන්නා ලදී. කෙසේ නමුත් පළමු ලෝක යුද සංග්‍රාමය හමුවේ නව විද්‍යාගාර ඇති කිරීමත්, රාජකීය විද්‍යාලය වෙනත් ස්ථානයකට ගෙන යාම සඳහා නව ගොඩනැගිල්ලක් පිහිටුවීමත් තාවකාලික ව නවතා දමන්නට සිදු විණි.

Image 03: කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල (වත්මන් ගණිත දෙපාර්තමේන්තුව)

වර්ෂ 1917 දී නැවත, එවකට ආණ්ඩුකාර ශ්‍රීමත් විලියම් හෙන්රි මැනිංගේ සහ අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීමත් එඩ්වඩ් බ්‍රැන්ඩිස් ඩෙන්හැම්ගේ සාකච්ඡාවට මෙකරුණ බඳුන් වූ අතර දේශන ශාලා පිහිටුවීම සඳහා මෙරට ප්‍රකට දානපතියෙකු වූ චාල්ස් හෙන්රි ද සොයිසාගේ පුත් තෝමස් හෙන්රි ආතර් ද සොයිසාට අයත් “රෙජිනා වලව්ව” නමින් හැඳින්වෙන වර්තමාන විද්‍යාල මන්දිර (College House) පරිශ්‍රය වර්ෂ 1920 දී රජය විසින් මිල දී ගන්නා ලදී. අදටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය ලෙස පවතින මෙම විද්‍යාල මන්දිරය ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපනයේ මුදුන් මල්කඩ සේ වන්නේ ය.

Image 04: රෙජිනා වලව්ව (වත්මන් විද්‍යාල මන්දිරය)

එවකට වැඩ බලන අධ්‍යාපන අධ්‍යක්ෂ එඩ්වින් එවන්ස්ගේ මඟ පෙන්වීම යටතේ අදින් සියවසකට පෙරාතුව, එනම් 1921 ජනවාරි 21 වන දින 115කින් යුත් ශිෂ්‍ය කණ්ඩායමක් සමඟ ලංකා විශ්වවිද්‍යාල කොලීජිය නිල වශයෙන් විවෘත කරන ලද්දේ ලාංකේය සිසු පරපුරේ උසස් අධ්‍යාපනය පිළිබඳ සුබ සිහින මල් ඵල ගන්වමිනි. මහාචාර්ය රොබර්ට් මාර්ස්, විශ්වවිද්‍යාල කොලීජියේ විදුහල්පතිවරයා ලෙස පත් විය. ශාස්ත්‍ර සහ විද්‍යා අධ්‍යයනාංශවල අධ්‍යයන කටයුතුවල පහසුව තකා විද්‍යාල මන්දිරයේ කාමරයක ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්ගේ පුත් අරුණාචලම් පද්මනාභගේ පොත් එකතුවකින් පුස්තකාලයක් පිහිටුවන ලදී. 1921 ඔක්තෝබර් පළමු වන දින ආණ්ඩුකාර මැනිං විසින්  විශ්වවිද්‍යාල කොලීජියේ විද්‍යාගාර විවෘත කරන ලද අතර විද්‍යාව ඉගැන්වීම රජයේ කාර්මික පාසල්වල සිට නව විද්‍යාගාර වෙත මාරු කරන ලදී.

ආරම්භක වර්ෂවල විශ්වවිද්‍යාල කොලීජියේ ඇතුළත් කිරීම් කේම්බ්‍රිජ් Senior විභාගයේ දී හෝ ලන්ඩන් Matriculation විභාගයේ දී පෙන්වන දක්ෂතා මත පදනම් වූ ආරාධනයන් ඔස්සේ සිදු වූ අතර එය ශිෂ්‍යාවන්ට පවා විවෘත විය. ආරම්භයේ දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධි සඳහා ලාංකේය සිසු සිසුවියන් පුහුණු කිරීම, ලංකා විශ්වවිද්‍යාල කොලීජිය හරහා සිදු වුණු අතර සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් වන ගමනේ මූල බීජයන් එලෙස රෝපණය විය. ඒ අනුව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ අන්තර්මධ්‍යම හා අවසාන විභාග (කලා හා විද්‍යා), ශුද්ධ විද්‍යාව පිළිබඳ පළමු වසරේ වෛද්‍ය පරීක්ෂණ, ලන්ඩන් අන්තර්මධ්‍යම විද්‍යා (ආර්ථික විද්‍යාව) විභාගය සහ ද්විතීයික ගුරුවරුන් පුහුණු කිරීම සඳහා පාඨමාලාවන් පිරිනැමීම සිදු කරන ලදී. විශ්වවිද්‍යාල කොලීජිය පාලනය කරනු ලැබුවේ ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ව්‍යවස්ථාපිත කවුන්සිලයක් මඟිනි.

Image 05: ලංකා විශ්වවිද්‍යාල කොලීජියේ පළමු කවුන්සිලය

වර්ෂ 1936 වන විට විද්‍යා හා ගණිත  විෂයන් ඉගැන්වීම සඳහා පුළුල් අධ්‍යයන කාර්ය මණ්ඩලයක් යොදා ගැනුණු අතර ගණිතය පිළිබඳ මහාචාර්ය සී. සුන්තරලිංගම්, ගණිතය පිළිබඳ කථිකාචාර්ය යූ. ඩී. ආර්. කැස්පර්ස්, එෆ්. එච්. වී. ගුලසේකරම් සහ එස්. නදරාසර්, භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජේ. පී. ඇන්ඩෲස්, භෞතික විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ඒ. ඩබ්ලිව්. මයිල්වාගනම් සහ එස්. පී. බලිගා, රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඒ. කන්දයියා, රසායන විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ඊ. එල්. ෆොන්සේකා සහ එල්. ඩී. ස්මිත්, උද්භිද විද්‍යාව පිළිබඳ මහාචාර්ය එන්. ජී. බෝල්, උද්භිද විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය පී. සී. සර්බර්ධිකාරි සහ බී. එල්. ටී. ද සිල්වා, සත්ත්ව විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ඩී. ආර්. බර්ට්, ඩබ්ලිව්. ප්‍රනාන්දු සහ පී. කීර්තිසිංහ යන චරිත ඒ අතර වූහ.

Image 06: ලංකා විශ්වවිද්‍යාල කොලීජියේ අධ්‍යයන කාර්ය මණ්ඩලය – 1933

වඩාත් ඉඩ පහසුකම් සහිත නේවාසික විශ්වවිද්‍යාලයක්‌ පිහිටුවීම සඳහා සුදුසු ප්‍රදේශය තීරණය කිරීම සම්බන්ධ ව උණුසුම් වාතාවරණයක්‌ රට තුළ නිර්මාණය වූ අතර වසර ගණනක වාද විවාදයන් අවසානයේ එම විශ්වවිද්‍යාලය පේරාදෙණියේ පිහිටුවීමේ යෝජනාව 1938 දී අනුමත විය. ඒ අතර 1941 දී අයිවර් ජෙනිංස් ලංකා විශ්වවිද්‍යාල කොලීජියේ විදුහල්පති ලෙස වැඩ භාර ගන්නා ලදී. වර්ෂ 1870 දී ආරම්භ කරන ලද ලංකා වෛද්‍ය විද්‍යාලය (Ceylon Medical College) සමඟ ලංකා විශ්වවිද්‍යාල කොලීජිය ඒකාබද්ධ කරමින් 1942 අංක 20 දරන ලංකා විශ්වවිද්‍යාල ආඥා පනත යටතේ 1942 ජූලි මස පළමු වන දින ලංකාවේ ම උපාධි පිරිනැමිය හැකි වන පරිදි ලංකා විශ්වවිද්‍යාලය (University of Ceylon) බිහි කිරීමට ඔහු පෙරමුණ ගත්තේ ය. ඒ ඉදිකිරීම් නිම වීමෙන් පසු ව කොළඹින් පේරාදෙණියට විශ්වවිද්‍යාලය රැගෙන යාමේ අදහසිනි. මහාචාර්ය ජෙනිංස් එහි පළමු උපකුලපතිවරයා ලෙස වැඩ භාර ගත් අතර ලංකා වෛද්‍ය විද්‍යාලය වෛද්‍ය පීඨයක් බවටත්, ලංකා විශ්වවිද්‍යාල කොලීජිය යටතේ පැවති ශාස්‌ත්‍ර, ප්‍රාචීන අධ්‍යයන සහ විද්‍යා යන අධ්‍යයනාංශ, පීඨයන් බවටත් උසස් කිරීම සිදු කරන ලදී. ඒ අනුව මහාචාර්ය ඒ. කන්දයියා විද්‍යා පීඨයේ පළමු පීඨාධිපතිවරයා බවට පත් විය.

Image 07: මහාචාර්ය ශ්‍රීමත් අයිවර් ජෙනිංස්

විශ්වවිද්‍යාල කොලීජියේ පුස්තකාලය රැජින මාවතේ (Queen’s Road) පිහිටි ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දුගේ නිවහන වූ Villa Venezia හි පිහිටුවන ලදී. ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නවාතැන් පහසුකම් Guildford චන්ද්‍රවංකයේ පිහිටි Union නේවාසිකාගාරයට අයත් අරුණාචලම් සහ ජයතිලක ශාලාවන්ගේත්, Christian (Brodie House) සහ Catholic (Havelock) යන නේවාසිකාගාරයන්ගේත්, ශිෂ්‍යාවන් සඳහා Cruden (Queen’s) නේවාසිකාගාරයේත් සපයන ලදී.

පේරාදෙණියේ විශ්වවිද්‍යාලය ගොඩනැගෙන තුරු අධ්‍යයන කටයුතු කොළඹ දී සිදු වූ අතර නීති, කෘෂි විද්‍යා හා පශු වෛද්‍ය යන අධ්‍යයනාංශවලට අයත් පනස්‌ දෙදෙනෙකුගෙන් සමන්විත වූ ප්‍රථම ශිෂ්‍ය කණ්‌ඩායම 1947 දී පේරාදෙණි පරිශ්‍රය වෙත විතැන් කිරීම සිදු විය. ඉදිකිරීම් නිම කිරීමෙන් පසු වර්ෂ 1952 දී ශාස්‌ත්‍ර, ප්‍රාචීන අධ්‍යයන පීඨයන් මෙන් ම ප්‍රධාන පුස්තකාලය සහ විශ්වවිද්‍යාල පරිපාලනය ද පේරාදෙණියට රැගෙන යන ලද අතර එම වර්ෂයේ දී පේරාදෙණියේ අධ්‍යයන කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී. කෙසේ නමුත් විද්‍යා සහ වෛද්‍ය පීඨයන් පේරාදෙණියට රැගෙන යාමක් සිදු නො විණි. 1961 දී දෙවන විද්‍යා පීඨයක් පේරාදෙණියෙහි ස්ථාපනය කරන ලදී.

Image 08: ලංකා විශ්වවිද්‍යාලය – 1947

කොළඹ වෙනම විශ්වවිද්‍යාලයක් ඇති කිරීම පිළිබඳ පළමු නිල නිවේදනය 1967 රාජාසන කථාවේ දී පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත් කරන ලදී. මේ සඳහා අවශ්‍ය නීති සම්පාදනය, උසස් අධ්‍යාපන ජාතික කවුන්සිලයේ (National Council of Higher Education) නිර්දේශය මත 1966 අංක 20 දරන උසස් අධ්‍යාපන පනත යටතේ සිදු කරන ලදී. ඒ අනුව 1967 ඔක්තෝබර් පළමු වන දින එතෙක් එක් විශ්වවිද්‍යාලයක් ව පැවති ලංකා විශ්වවිද්‍යාලය University of Ceylon – Colombo සහ University of Ceylon – Peradeniya ලෙස වෙන් වෙන් වශයෙන් පිහිටුවීම සිදු කෙරිණි.

Image 09: විද්‍යා පීඨ අධ්‍යයන කාර්ය මණ්ඩලය – 1967

වර්ෂ 1972 දී එවකට පිහිටුවා තිබූ ලංකා විශ්වවිද්‍යාලය – කොළඹ, ලංකා විශ්වවිද්‍යාලය – පේරාදෙණිය, විද්‍යෝදය විශ්වවිද්‍යාලය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය යන ස්වාධීන විශ්වවිද්‍යාල හතර ඒකාබද්ධ කරමින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය (University of Sri Lanka) බිහි වූ අතර කටුබැද්දේ පිහිටි ලංකා තාක්ෂණික විද්‍යාලය ද පසුව ඒ හා සංස්ථාගත කරන ලදී. එතැන් සිට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට අනුබද්ධ මණ්ඩපයන් ලෙස මෙම විශ්වවිද්‍යාල ආයතනයන් සැලකුණු අතර 1974 දී යාපනය මණ්ඩපය ද ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඒකාබද්ධ විය. උද්භිද විද්‍යාව පිළිබඳ මහාචාර්ය බී. ඒ. අබේවික්‍රම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපතිවරයා වූ අතර භෞතික විද්‍යා මහාචාර්ය ඕ. ඩබ්ලිව්. ජයරත්න ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට අනුබද්ධ කොළඹ මණ්ඩපයේ පළමු සභාපතිවරයා බවට පත් විය. කෙසේ නමුත් මෙම ඒකාබද්ධ විශ්වවිද්‍යාල ක්‍රමය වැඩි කලක් පැවතුණේ නැත.

Image 10: මහාචාර්ය බී. ඒ. අබේවික්‍රම

ශාස්ත්‍රාලිකයින්ට වැඩි ස්වාධීනත්වයක් සහ නිදහසක් ගෙන ඒමේ අරමුණින් හඳුන්වා දෙන ලද 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත හරහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට අනුබද්ධ ව පැවති මණ්ඩපයන් ස්වාධීන විශ්වවිද්‍යාල බවට පත් විය. කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය සහ යාපනය විශ්වවිද්‍යාලය ලෙස එම මණ්ඩපයන් එතැන් සිට නම් කරන ලදී. එලෙස ස්වාධීන වූ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා බවට මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර පත් විය.

Image 11: මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර

“බුද්ධිඃ සර්වත්‍ර භ්‍රාජතේ” හෙවත් “බුද්ධිමතා සැමතැන බැබළේ” යන්න ආදර්ශ පාඨය කොට ගත් කොළඹ විශ්වවිද්‍යාලය පීඨ නවයකින් සහ එක් මණ්ඩපයකින් සමන්විත වෙයි, ඒවා නම්,

  • ශාස්ත්‍ර පීඨය
  • අධ්‍යාපන පීඨය
  • නීති පීඨය
  • කළමනාකරණ සහ මූල්‍ය පීඨය
  • වෛද්‍ය පීඨය
  • විද්‍යා පීඨය
  • පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය
  • තාක්ෂණ පීඨය
  • හෙද පීඨය
  • ශ්‍රී පාලි මණ්ඩපය

එලෙස ම විශ්වවිද්‍යාලය සතු ව අනුබද්ධ ආයතන හතක් සහ එක් පාසලක් පවතී. ඒවා නම්,

  • මානව සම්පත් අභිවර්ධන ආයතනය (IHRA)
  • දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය (IIM)
  • වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය (PGIM)
  • ජාතික පුස්තකාල සහ තොරතුරු විද්‍යා ආයතනය (NILIS)
  • ජෛව රසායන විද්‍යා, අණුක ජීවවිද්‍යා සහ ජෛව තාක්ෂණවේද ආයතනය (IBMBB)
  • කොළඹ විශ්වවිද්‍යාලයීය කෘෂි තාක්ෂණ සහ ග්‍රාමීය විද්‍යා ආයතනය (IARS)
  • කොළඹ විශ්වවිද්‍යාලයීය කොන්ෆියුසියස් ආයතනය (CIUC)
  • කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පාසල / අධ්‍යයන ආයතනය (UCSC)
Image 12: ජෛව රසායන විද්‍යා, අණුක ජීවවිද්‍යා සහ ජෛව තාක්ෂණවේද ආයතනය

ශාස්ත්‍ර පීඨයත් සමඟින් අද තම සියවන ජන්ම දිනය සමරන කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨය දෙපාර්තමේන්තු හතකින් සමන්විත වේ. ඒවා නම්,

  • රසායන විද්‍යා දෙපාර්තමේන්තුව
  • භෞතික විද්‍යා දෙපාර්තමේන්තුව
  • ගණිත දෙපාර්තමේන්තුව
  • උද්භිත විද්‍යා දෙපාර්තමේන්තුව
  • සත්ත්ව හා පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුව
  • සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුව
  • න්‍යෂ්ටික විද්‍යා දෙපාර්තමේන්තුව
Image 13: සත්ත්ව හා පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුව

2500 කට අධික ශිෂ්‍ය පිරිසකින් සහ 230 කට අධික අධ්‍යයන කාර්ය මණ්ඩලයකින් සමන්විත වත්මන් විද්‍යා පීඨය තුළින් තුන් අවුරුදු විද්‍යාවේදී උපාධිය, සිව් අවුරුදු විද්‍යාවේදී ගෞරව උපාධිය සහ තුන් අවුරුදු විද්‍යාවේදී බාහිර උපාධිය පිරිනැමීම සිදු වේ. එලෙස ම කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතනය හා එක් ව ගෞරව උපාධි පාඨමාලා කිහිපයක් ද පවත්වනු ලැබේ. තව ද Master of Science උපාධි සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමා සඳහා පශ්චාත් උපාධි වැඩසටහන් ද පීඨය මඟින් සංවිධානය කරනු ලබයි.

විද්‍යා පීඨයක් සහ Researches නැත්නම් පර්යේෂණ අතර ඇත්තේ ගසකට පොත්ත මෙන් වූ සවිමත් සබඳතාවයකි. PhD. සහ MPhil. උපාධි සඳහා සුදුසුකම් ලබන, පර්යේෂණ සිදු කරන විද්‍යාර්ථීන් බොහොමයක් එදා මෙන් ම අදත් කොළඹ විද්‍යා පීඨයෙන් බිහි වෙයි. එම පර්යේෂණ වැඩසටහන් හරහා දෙස් විදෙස් පර්යේෂණ සංවිධාන සමඟ ශක්තිමත් සබඳතාවන් ගොඩනැගීමට පීඨයට සහ දෙපාර්තමේන්තුවලට හැකි වන බව නොරහසකි. ඒ තුළින් ශ්‍රී ලාංකේය සංවර්ධනයට සුවිසල් දායකත්වයක් සැලසෙන බවට කිසිත් සංශයක් නැත.

Image 14: රසායන විද්‍යා දෙපාර්තමේන්තුව

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලත් සියල්ලන් ම විද්‍යාඥයින් නොවූ බව නම් සත්‍යයකි. දෙස් විදෙස් සුපතළ විද්‍යාඥයින් බොහොමයක් කොළොම්තොට විදු පීඨයෙන් ලොවට දායාද වූ සේ ම ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්ගෙන් ඉදිරියට පැමිණි චරිත සුවිසල් ගණනකට මේ පින්බිම සෙවණ දී තිබේ. සෞන්දර්ය, ක්‍රීඩා, නායකත්ව, විවිධ සංගම් ආදිය ඔස්සේ විශ්වවිද්‍යාල කාලය තුළ පීඨයෙන් ලබා දෙන පන්නරය, සරසවියෙන් පසු ජීවිතය දිනන්නට ප්‍රස්තුත වන බව කිව යුතු ම ය. ඉතින්, පුරා සියවසක් ශ්‍රී ලාංකේය දුවා දරුවන් නැණ ගුණෙන් පොබ කළ කොළොම්තොට විදු පීඨ මවුනි, ඔබට අප සදා ණයගැතියි. තවත් පරම්පරාවන් සිය දහස් ගණනකට ජීවය දෙමින් ඔබ චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!

චිරං ජයතු…!!!

 

References:

Image Courtesy:

 
Tagged : / / /