වෙලාව උදේ නමයට විතර ඇති. දළදා මාළිගාව වඳින්න යන්න ,ලංකාවේ මුදුන් මල් කඩක්. කුරුණෑගලින් මේ පිටත් වෙන්නේ මහනුවරට යන්න.. රාජධානියකින් තවත් රාජධානියකට .. මේවා දැන් ඓතිහාසික නගර… නුවර යනවා කිව්වම ගොඩක් අයට කල්පනා වෙන්නේ කොළඹ නුවර A 1 පාර . එහෙන් යනකොට තමයි කඩුගන්නාව දුර්ගය හම්බෙන්නේ. කුරුණෑගල අපි නුවර යන්නේ පුත්තලම – නුවර පාරේ, A 10 යේ . මෙහෙන් යනකොට තමයි ගලගෙදර දුර්ගය හම්බෙන්නේ. හිත හරිම ප්‍රබෝධමත් කුරුණෑගලින් හතර අතට දිවෙන පාරවල් අතරින් වියළි කර්කශ වටපිටාවෙන් මිදුණු නිස්කලංක මනරම් සිසිල් දේශගුණයක් ඇඟට දැනෙන්නේ මේ පාරේ යනකොට විතරයි. එතරම් ජනාකීර්ණ නැති ප්‍රධාන ගම් අවට විතරක් ටවුන් සෑදුණු පාරක්. මල්ලවපිටිය, පිලැස්ස, මාවතගම, පරගහදෙනිය, වෑඋඩ, මැටිබොක්ක , ගලගෙදර, අරඹේකඩේ, හෑදෙනිය, අලදෙනිය, වැරැල්ලගම ,නුගවෙල , කටුගස්තොට තව ඉස්සරහට පහු කරගෙන තමා මහනුවරට යන්නේ.
ගලගෙදර පහුවෙනකොට කන් අගුල් වැටෙනවා.මටනම් එක ගානක් නෑ දැන් පුරුදු වෙලා.ඒ වායුගෝලයේ පීඩන වෙනසට ලු. කටුගස්තොට කියපු ගමන් මතක් වෙන්නේ මහවැලි ගඟේ පාලම.එතනින් එහාට කෙලින්ම නුවරට,පේරාදෙණියට යන පාරවල් තමයි හම්බෙන්නේ.කුරුණෑගල මිනිස්සුන්ට නුවර යනවා කියන එක ඒ හැටි දෙයක් නම් නෙමෙයි.මොකද වැඩිම උණොත් පැය එකහමාරක ගමන.ඒත් මේ පාරට සමාන්තර කෝච්චි පාරක් නෑ .තිබ්බනම් කොච්චර අපූරු ද? මොකද මේ පහු කරගෙන යන්නේ විවිධ පළාත් සංස්කෘතීන් මිනිස්සුන්ගේ ජීවිත.පුදුම නැහැ.අපූර්වත්වය අපි විඳින්න ඕන. නුවරට ආපු ගමන් බහිරව කන්දේ බුදු පිළිමය දැක්කම ගමන පටන් ගත්තු කුරුණෑගල ගල මුදුනෙහි වැඩ හුන් ශ්වේත වර්ණ බුදු පිළිම වහන්සේ මතක් උණා . තවමත් භක්තියෙන් හස්තිශෛලපුර ඉඳන් අරගෙන ආපු වතුසුද්ද මල් ටික පැන් බිංදු නාගෙන මං දිහා බලාගෙන හිනැහෙනවා. තව ටික යි මාළිගාව ළඟ හෝල්ට් එකේ බහිනවා. සෙංකඩගල මාලිගා පිවිසුම ළගින්ම බසයෙන් බැහැ ගත්තා. මුහුණ පුරා වැදුණු සීතල හුළඟ බෝගම්බර වැවෙන් ආවේ ,කුරුණෑගල වැව ළග තනියම කල්පනා කරමින් හිටපු මොහොතක් මගේ හිතේ අඳිමින්…..!