කලින් දැනං උන්නද ?

Share

පොළොන්නරුවෙ ගල් විහාරය කියන්නෙ බෞද්ධ අපිට විතරක්ම නෙමෙයි, ලංකාවෙ ජීවත් වෙන ශ්‍රී ලාංකික අපි හැමෝටම මහත් ආභරණයක් වගෙම ආඩම්බරයක්.. එක දිගට පිහිටලා තියෙන කළුගලක බොහොම අපූරුවට නෙළලා තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලා හතරක් මෙතනදි  දකින්න පුලුවන්.. ඒ අතරින් අන්තිමටම අපිට මුණගැහෙන සැතපෙන බුද්ධ ප්‍රතිමාව ගැන ටිකක් කතා කරන්ඩ තමයි මේ සටහනෙන් බලාපොරොත්තු වෙන්නෙ…

තවත් එකක් කියන්ඩම ඕනෙ, මේ  කියවෙන කරුණු එතනදි අපිට සංචාරක මඟ පෙන්වන්නෙක් කියාපුවා, හැබැයි අන්තර්ජාලයෙන්වත් හොයා ගන්ඩ බැරි වෙයි කියල හිතුණු නිසාත්, ලොකු තර්කානුකූල ගතියක් දැනුණු නිසාත්  තමයි මේ විදියට ඉදිරිපත් කරන්න හිතුවෙ. හැබැයි සියයට සියයක්ම සත්‍යයයි කියල නම් සහතික කරල කියන්ඩ බෑ. අදහසක් ගන්ඩකො බලන්න, සමහරවිට ඔයාල කලින් අහලවත් නැතුවැති, මෙන්න මෙහෙමයි ඔය විස්තරේ තියෙන්නෙ…

ඇමරිකාවෙ ඉඳල අපේ රටට ආව කියනවලු නෙ පුරා විද්‍යාව සම්බන්ධව දක්ෂ මහත්තයෙක් එච්. සී. බෙල් කියලා. ඒ මහත්තය ඉදිරිපත් කරාලු අදහසක්, ඔය අපි කියාපු පිළිමෙ බුදුන් වහන්සේගේ සැතපෙන ප්‍රතිමාවක් කියලා, නමුත් අපේ රටින් බිහිවුණු ආචාර්ය සෙනරත් පරණවිතාණ මහත්තයා බොහොම සියුම් විශ්ලේෂණයකින් පස්සෙ කරුණු හතක් මත පිහිටලා කියනව ලු. නෑ ඔය සැතපෙන ප්‍රතිමාවක් නෙමෙයි, බුදුන් වහන්සේගේ “පරිනිර්වාණ මංචකයම යි” කියලා, අපි බලමු මොනවද ඒ පාදක කරගත්තු කරුණු කියලා.

1). ශ්‍රී කර්ණය බරවී මුහුණ දෙසට වන්නට වැටී තිබීම – පහළට, මුහුණ දෙසට  එල්ලා වැටෙන්නට නම්, කන් පෙත්තේ සැලකිය යුතු බර ගතියක් ඇති වීමට පරිනිර්වාණය සිදු වෙලා තියෙන්නම ඕනෙ ලු .

2). නෙත් යුගලය අඩවන්ව තිබුණද, එහි ශෝකාකූල බවක් නිරූපණය කර තිබීම– අඩවන් වුණු නෙත් සාමාන්‍ය දසුනක් උනත්, ඊටම දුක් මුසු ස්වභාවයක් එකතු කරල තිබීම මෙතනදි දකින අයට  කම්පාව ඇති කරන්ඩ ගල් වඩුවා යොදාපු  උපක්‍රමයක් ලු.

3). ශ්‍රී ශීර්ෂය පිහිටුවා ඇති කොට්ටය පහළට බොහෝ සේ එබී තිබීම– කොට්ටය ගොඩක් එබී තිබීමට නම්, ලොකු බරක් ඒ මතට එල්ල විය යුතුයි, දේහයේ බර වැඩි වී තිබීමට නම් සැතපුණු අවස්ථාවක් නෙමෙයි, පරිනිර්වාණයම විය යුතුයි ලු .

4). සුපුරුදු  සිංහ සෙයියාවෙන් සැතපී සිටින කල, දකුණු හස්තය වෙනදා මෙන් නොව, බොහෝ සේ පහතට ඇදී තිබීම– අවසාන හුස්ම ගිලිහී යන මොහොතේ දැනෙන වේදනාව නිසා ලු.

5). දරා සිටින ශ්‍රී චීවරයේ ඉස්මතු කර ඇති අපිළිවෙල බව– තුන් සිවුර මනා කොට පොරවන බුදුන් වහන්සේ කවදාවත් සැතපෙන විටෙකදි නම් මෙහෙම වෙන්ඩ බැරි ලු.

6). සැතපෙන ප්‍රතිමාවක දැකිය හැකි සම්බුදු පාද යුග්මයේ සමාන්තර බව ගිලිහී තිබීම– බුදුන් වහන්සේගේ සාමාන්‍ය සැතපීමකදී පාද යුග්මයේ සමාන්තර පිහිටීම, තැන්පත් බව  වගේ සුපුරුදු ඉරියව් වල වෙනසක් වෙන්ඩ බැරි ලු.

7). සම්බුදු සිරි පතුලේ, අටතුරාසියක් වන මඟුල් ලකුණු එකක් වත් දැක ගත නොහැකි වීම– ජීවමාන සම්බුදු සිරි පතුලක මංගල ලකුණු එකසිය අටක් තියෙනවා, ඒව නැතිවෙන්ඩ නම් කොහොමටවත් සැතපුණු අවස්ථාවක් නම් වෙන්ඩම බැරි ලු.

ඔන්න ඔය කරුණු අනුව, බොහොම ගැඹුරු විශ්ලේෂණයකින් පස්සෙ, පරණවිතාන මහත්තයා පෙන්වා දෙනවා සම්බුද්ධ පරිනිර්වාණ අවස්ථාවයි මේ පෙන්නුම් කෙරෙන්නෙ, වගෙම බෙල් මහත්තයගෙ මතයත් වැරදියි කියලා.

උඩදිත් කිව්ව වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන්, ඔයාලට ඕනෙ නම් ගල් විහාරෙ තවත් තොරතුරු හොයාගන්ඩ  https://en.wikipedia.org/wiki/Gal_Vihara  වෙබ් අඩවියට ගිහිල්ලම බලන්ඩ, හැබැයි අපි උඩදි කතා කරපුවා  වාගෙ කරුණු නම් වෙනමම ගවේෂණයක් කරලාම තමයි හොයා ගන්ඩ වෙන්නෙ..

අපි කතා කරපු මේ සටහනත් එක්ක ඔයාලට ත් උනන්දුවක් වගේම අපේ ඇත්තන්ගෙ තිබිච්චි හැකියා ගැන පුදුමයකු ත්  ඇති උනා කියලා හිතනවා, අපේ රටේ තවත්  මේ වගේ සැඟවිලා තියෙන රස මුසු තැන් හොයා බලා දැන කියා ගන්ඩ කියලත් මතක් කරනවා.

Image Courtesy- https://bit.ly/32K50yK

 
Tagged : / /