ලොව උණුසුම් මාතෘකාව COVID-19

Share

“COVID – 19” (Corona Virus Disease -2019) නමින් හැඳින්වෙන වෛරස් රෝගයේ හානිකර පැතිරීම, ප්‍රථමයෙන් වාර්තා වූයේ 2019 නොවැම්බර් මස, චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නුවරින් ය. එතැන් පටන් මේ වන විට, මාස පහක කාල සීමාවක් ඇතුළත, රටවල් 150 කට අධික ප්‍රමාණයක, තහවුරු කරන ලද රෝගීන් 179,650 ක සංඛ්‍යාවක් ද, ලොව පුරා වාර්තාගත මරණ සංඛ්‍යාව 7068 කට (මාර්තු 16 වන දින ට) වග කියමින් ද පැතිර යන මෙම රෝගය ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ලෝකව්‍යාප්ත වසංගත තත්ත්වයක් ලෙස න⁣ම් කර ඇත.

ශ්‍රී ලංකාව පසුගිය මාස කිහිපය තුළ මෙම තත්ත්වය ට ගොදුරුව නොසිටියත්, මේ වන විට ලාංකික කොරෝනා ආසාදිතයින් 40 ක් හඳුනාගෙන ඇත.
කෙතරම් තොරතුරු කන වැකුණත්, නෙත ගැටුණත් දිනෙන් දින ඉහළ යන රෝගී සංඛ්‍යා දත්ත පෙන්නුම් කරන්නේ මින් ආරක්ෂා වීමේ මංපිළිවෙත් තවමත් මනා අයුරින් සමාජගත වී නැති බවයි. මීට විසඳුමක් සැපයීම මෙ⁣ම සටහනේ අරමුණයි.
නියමිත තැනින් පටන් ගනිමු.

මොකද්ද මේ “කොරෝනා (COVID-19)” ?

“කොරෝනා” යනු ආසාධිත පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකුට වැළඳෙන, මාරාන්තික තත්ත්වයකට වර්ධනය විය හැකි වෛරස් ආසාදනයකි.

රෝගය පැතිරෙන ආකාර කීපයක් හඳුනාගෙන ඇත .

  • ආසාදිත පුද්ගලයෙක් හා සමීප ඇසුර
  • ආසාදනය ඇති පුද්ගලයෙකුගේ කෙළ බිඳිති වටපිටාව ට මුදා හරින කිවිසුම්, කැස්ස, කතාබහ ට නිරාවරණය වීම
  • වෛරසය සහිත මතුපිටක් ස්පර්ශ වීම

කියවා බැලූ පමණින් ආසාදිතයා හඳුනාගත හැකිනම්, වෛරසය රැඳී සිටින මතුපිට පෙනුණා නම් වැඩේ ගොඩ ය.
අවාසනාවකට, ආසාදනය අපටත් නොදැනෙන පරිදි, දින 14 ක පමණ කාලයක්, අපේ ඇඟ තුළ රෝගී තත්ත්වය නොපෙන්වා රැඳී සිටිය හැකිය. වෛරස් අංශුවක් කෙසෙත් ම මිනිස් ඇසට පෙනෙන්නේ නැත. 

මෙවන් තත්ත්ව යටතේ මෙයින් ආරක්ෂා වීමට ගත හැකි ඉතා සරල පියවර 7ක් ඇත.

 පියවර 1 – දෑත් සේදීම 

  • සබන් ගා අවම වශයෙන් තත්පර විස්සක් වත් දෑත් හොඳින් සෝදන්න.
  • සබන් වෙනුවට 60%ක ප්‍රමාණයකවත් මද්‍යසාර අඩංගු විෂබීජ නාශකයක් (hand sanitizer) යොදා ගන්නත් පුළුවන්!

පියවර 2 – මුහුණ

  • ඇස්, නාසය, කට මගින් වෛරසය අපේ සිරුරට ප්‍රධාන වශයෙන් ඇතුල්  වේ. එනිසා එම තැන් අපිරිසිදු දෑතින් නො ඇල්ලීමට වගබලා ගන්න.

(වෛරසය ශරීරගත වී, සජීවී සෛලයක් තුළට යන තෙක් සිරුර තුළ රෝගයක් ඇති කළ නොහැක. අප සම මතුපිට ඇත්තේ අජීවි සෛල තට්ටුවක්. ඉහත දොරටු තුළින් එය ශරීරගත වේ.)

 

පියවර 3  – විෂබීජ නාශක භාවිතය

  • නිතරම අත ගැටෙන, පාවිච්චි වෙන උපකරණ ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න.

විෂබීජ නාශක දියර යොදා හෝ විෂබීජ නාශක තුවා මඟින් පිස දමා මතුපිට පෘෂ්ඨයන් (පාඩම් මේසය, කන්තෝරු මේසය) හොඳින් පිරිසිදු කරගන්න.

පියවර 4 – ස්පර්ශය අවම කිරීම

  • පොදු, සැම දෙනා නිතර භාවිතා කරන පොදු දේවල්/ පෘෂ්ඨයන් ඇල්ලූ පසු (කන්තෝරුවේ දොර, පොදු පරිගණකය, ස්විච්) අමතක නොකර පළමු පියවරෙහි සඳහන් පරිදි දෑත් පිරිසිදු කරන්න.

පියවර 5 – ස්වයං ආරක්ෂාව

  • යම් කිසි විදිහකින් වෛරසය ශරිරගත වුවහොත් , ඊට විරුද්ධව සටන් කිරීමට හැකි ප්‍රබල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් (මිනිස් සිරැරට ඇතුල් වන විෂබීජ හා රෝගකාරක හා සටන් වදින පද්ධතිය) ඔබ සතු වේනම් ඉක්මනින් රෝගය මැඩ පැවැත්විය හැකිය.
  • ඒ සඳහා ප්‍රමාණවත් නින්ද , පෝෂ්‍යදායී ආහාර අනුභවය, ව්‍යායාම, ආතතිය අවම කරගැනීම වැනි පුරුදු ඉවහල් වේ.

පියවර 6 – ගමන් බිමන්

  • මේ දිනවල පිටරට සංචාරවල යෙදුණ/යෙදෙන අය, තමන් ආරක්ෂා කරගැනීමට මෙන් ම, අන් අය ආරක්ෂා කරගැනීමට ප්‍රවේසම් විය යුතු අතර ඉතා වගකීමෙන් ක්‍රියා කළ යුතුය. මන්ද ඔබ රෝග වාහකකෙකු වීමේ අවදානම ක් ඇති බැවිනි.
  • එම නිසා තමන් ඉගෙනුම ලබන/ සේවය කරන ආයතනයේ නියමිත නිළධාරින්/ පාර්ශවයන් දැනුවත් කර, ඒ අයගෙ උපදෙස් අනුව නිවසේ සිට වැඩ කිරීමට  (ස්වයං නිරෝධායනය) හෝ අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතු වේ.

පියවර 7 – රෝගී බවක් දැනුණොත් නිවසින් පිට⁣ත ට නොයා සිටීම/ ඉක්මනින් නිවස බලා යාම

රෝගයෙන් ආරක්ෂා වීම මෙන් ම පැතිරීම වළක්වා ගැනීමට අප කටයුතු කළ යුතු ය.

ඔයා ආසාධිත අයෙකු නම්, මිනිසුන් අතරට නොගොස් නිවසට වී සිටීම යහපත් ය. හැකි ඉක්මනින් අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ හා ප්‍රතිකාර වල ට යොමු වන්න.

ඔබට කොරෝනා ආසාදනය වී ඇත්දැයි හඳුනා ගන්නේ කෙසේ ද?

මෙම රෝගයේ රෝග ලක්ෂණ , සාමාන්‍ය හෙම්බිරිස්සාවක සිට උණ තත්ත්වයක් දක්වා වෙනස් විය හැකි අතර පහත ලක්ෂණ ඇතුළත් වේ.

  • උණ
  • කැස්ස
  • හති ගතිය
  • හුස්ම ගැනීමේ අපහසුව

මෙම රෝග ලක්ෂණ මතු වුවහොත්,

• අනවශ්‍ය භීතියකට පත් නොවන්න.

මන්ද ඔබ වෙනත් දරුණු රෝග තත්ත්වයකින් දුර්වල වී නැතිනම් සුදුසු, ඉක්මන් ප්‍රතිකාර මඟින් රෝගය සුව කළ හැකිය.

• කල් නොයවා, ළඟම තියෙන හදිසි සෞඛ්‍ය සේවා අංශය / රෝහල වෙත යොමු වන්න.

කොරෝනා පිළිබඳ හදිසි ඇමතුම් සේවා අංකය – 117

ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඉතා තීරණාත්මක කාල වකවානුවක් ගත කරන අප, මෙම අවදානම් තත්ත්වයෙන් ගොඩ ඒමට නම්, තැනට සුදුසු නුවණ යොදා, බුද්ධිමතුන් ලෙස ක්‍රියා කිරීමේ වැදගත්කම පුන පුනා කිව යුතු නොවේ.

හරි හැටියට දැනුවත් වී, සන්නිවේදන මාධ්‍යජාල හරිහැටි භාවිතා කර, ඔබේ බුද්ධිමත් භාවයෙන් රටට දෙයක් කිරීමට මෙය අගනා අවස්ථාවකි.

විද්‍යා පීඨ තොරතුරු කේන්ද්‍රය: https://science.cmb.ac.lk/news/covid-19-outbreak/

Graphics from https://www.powtoon.com/

Image Courtesy : https://www.thisdaylive.com/index.php/2020/03/16/coronavirus-outbreak-round-the-clock-updates/

Resources:  

https://www.worldometers.info/coronavirus/

https://www.who.int/health-topics/coronavirus

https://srilanka.travel/covid19/

 
Tagged : / / /