පඬුවස්නුවර මහසිරි පිරි රාත්‍රිය

Share

වෙලාව නම් රෑ දහය හමාරට විතර ඇති, පොඩ්ඩක් නිස්කලංකෙට ඉස්තෝප්පුවට ආව විතරයි දැනිච්ච හැඟීම් ගොඩ.. කියල නිම කරන්න බැරි උනා, ඒ රාජශ්‍රිය තාමත් මෙහේ තියෙනව නේද කියල හොඳටම පැහැදිලි වුණා.කොච්චර වටිනාකමක්, තේජසක් අපිට අපෙ රටට තියෙනවද.. හිතා ගන්නවත් බෑ,  වචනත් නෑ. ඒ තරමට හරිම ආඩම්බරයක්, අභිමානයක් දැනෙන්නෙ. ‘දේවසිරියෙ ඉස්තෝප්පුව’ට දැනිච්චි ඒ කියාගන්න බැරි නිදහස, රසය, ලස්සන, අහීමන ගතිය පරදා නැඟෙන ප්‍රතාපවත් අතීතය,, ‘ පඬුවස්නුවර පිං බිම’…….

තරගෙකි මහා පොරකන ගෙම්බන්ගෙ නද
කලබලයක් මෙනි ඒ හිත් ඇතුළෙ        තද
වැස්සක් ළඟ වගෙයි හෙට ගැන කියති අද
අමුතුම ලොවක් වෙත පාවී ඇදුණි        හද

එක්ටැම්ගෙට එපිටින් බලු රෑනක උඩු           බිරුම
කොට වෙහෙරට මෙපිටින් එන සීත සුළං     අරුම
පංචායතනය සිහි කර සතුටින් නිදි               වැරුම
පඬුවස්නුවරයි පිං බිම සියල් සිරින්                උරුම

අඩ සඳෙනුත් පොඩ්ඩක් අඩුවෙන් ඇත අහසේ
එළිය බෙදන්නේ මුකුලිත සෙයකිනි    රහසේ
සිතිවිලි දහසක් උපදින රසබර            පහසේ
තුන් සිත සැනහී නිවුණා සොම්නස්     දහසේ

කෝං කොහොඹ සියඹල නුග මහ      උසට
සෙවණැලිවත් නොපෙනෙන ගනඳුර දෙසට
චකිතය මුසු  සිසිලස සෙවණකි            හිසට
පිට්ටනියයි රසඳුන නිදිබර                  ඇසට

හීන් හඬක් ආවත් බුරමින්ම දිව         එනා
මුළු දවසෙම මාළිගාවෙ ඉසව්වෙ  රැඳෙනා
රෑ මැදියම ඇස් කන් අවදියෙනි හැසිරෙනා
එරජ දවසෙ ආරක්ෂක සෙබළු   සිහිවෙනා

ඉඳහිට යන මොටෝසයිකලේ   පාරේ
බිඳ දැමුවා නිහැඬියාව ගැමි        සාරේ
සිනිඳු වැල්ල සපිරුණු හැම බිම් යාරේ
සිහි කැඳවයි රජ දවසේ තෙද     ආරේ

නිවි නිවි දැල්වෙන කණුවකි වීදි    කොනේ
මාළිගාව දෙස බලමින් සුසුම්             ලනේ
අද හෙට මියැදෙන්න වගෙයි ලකුණු  දැනේ
රජ කාලේ නිලමෙ කෙනෙක් වාගෙ පෙනේ

‘දේවසිරියෙ’ හුඩ් එක යට සැහැල්ලු   පුටුවේ
මා උන්නත් හිත ඇත්තේ රජගෙයි කොටුවේ
පඬුවස්පුර ඉමිහිරි රැයෙ අසිරිය           දුටුවේ
රස මුහුදින් එක බිඳුවක් ලියැවුණි      පිටුවේ

Image Courtesy : Ishanka Deshapriya

 
Tagged : / / /