අවුරුද්ද, සමහරු ඉහළින්ම සමරනකොට තවත් සමහරු පැත්තකටම දාල. තම තමන්ගේ දැක්මට අනුව ඔය කොයි දේටත් දෙන තැන උස් පහත් වෙනවනෙ. සිංහල අපේ ඒ ලස්සන උත්සවය දිහා මාන කීපයකින්, අවුරුද්ද “ඇති-නැති”; මේ පද්‍ය පන්තියෙන් අපි කෙටියෙන් කතා කරන්නෙ ආන්න ඒ විෂමතාවයයි !
මිදී වැඩ කටයුතුවලින් පහුවෙන්න නිසලව නොනගතේ
සැදී ඉටු කරලන්න අකුරට ලිතේ ලියු ලෙස පිළිවෙතේ
නොදී අඩුවක් බැති මතින් හෙළ ගඟුල මහමෙරු පරුවතේ
ළැදී පෙරදැරි සිරිත් කෙත වපුරන්න පේ වෙති හදවතේ
නැකත ගෙවුණත් ගහේ එරබදු පාට රතු මල් පිපෙනවා
සිරිත කෙරුවත් පුරුදු විදියට කොහා තනියම අඬනවා
පිරිස නැතුවත් දර ළිපේ බත් මාළු පැහි කිරි ‘තිරෙනවා
වෙහෙස තිබුණත් මේෂයෙන් වෘෂභයට හිරු දෙවි වඩිනවා
මතක් වෙනකොට පුංචි උන් හරි කෙළිදෙළෙන් කල් යස විඳපු හැටි
කෙතක් අස්වනු වපුරගෙන පිරිබිඩපු අපෙ මුළු ගෙයිම ගොම මැටි
අතක් කකුලක් හූරගෙන කටු පඳුරෙ ගොහොරෙම නියරෙ වැටි වැටි
පොතක් තරමට ලිවිය හැකි අත් විඳපු රස තව කඳුළු මිණි කැටි
බණක් මඟුලක් ඉලව් උපතක් පිරිත් කොටහළු ගෙපැල් නෑර
නිතර හමුවන නෑ සියන් හිත මිතුරු සහ පිරිවරින් සාර
රැයක් උදයක් දවල් තනියක් නොකර සාමීචියෙහි සූර
ඉතිං වෙනසක් කොහෙද තුන්සිය පහෙම හැටෙ බක් කෝඩුකාර
සතුටු සිනා කවි සෙල්ලම් මිහිර දිදී කිරි සුවඳට
කලබලයෙම ඇවිත් ගියත් අලුත් උනා හරි හරියට
දරු මුනුපුරො ආපු නිසා එළිය වෙච්ච මහ ගෙදරට
ආයෙත් අවුරුද්ද වරෙන් පමා නොකර විග විගහට
Image Courtesy: https://bit.ly/41feC1M