අවසානයේදී… ඔහුත් මනුෂ්‍යයෙක්ම ය.

Dilshan 0 Comments

මේ කතාවේ වස්තු බීජය වෙන්නේ, ඔහුයි. ඇත්තටම කව්ද මේ ඔහු? ඔහු මේ කතාවට එකතු වෙන්නේ මීට අවුරුදු කිහිපයකට කලින්. කිහිපයකට කලින් කිව්වට, බොහෝ විට අද ඉඳන් වසර 50 කට 55 කට කලින්… හැබැයි ඒ කාලය, ඔබේ වයසත් මගේ වයසත් අනුව අඩු, වැඩි වෙන්නට පුළුවන්.

ඔබට, දැන් ඔහු ගැන යම් ඉඟියක් ලැබුණාවත් ද?

ඔහු, එදා මේ කතාවත් එක්ක එකතු වෙද්දී නිර්නාමිකයි. හැබැයි එතැන් පටන් හෝරා කිහිපයකට පස්සේ, ඔහුට නමක් ලැබෙනවා. ඒ නමින්, ඔහුට උප්පැන්න සහතිකයක් ලැබෙනවා. ඒ නමින්, අනෙක් එවුන් ඔහුව ආමන්ත්‍රණය කරන්නට පටන් ගන්නවා. ඔහු ඒ හඬට, ඒ නමට අවනත වෙන්නට පටන් ගන්නවා. ඒ වෙද්දී නම් ඔහුට මේ කතාව ගැන කිසිම අවබෝධයක් නැහැ… වසර කිහිපයක් ගෙවී යනවා…

කාලයත් එක්ක ඔහුට තවත් කෙනෙක් හමු වෙනවා… ටිකක් විශේෂ කෙනෙක්. ඒ ඇයයි, ටිකක් කිව්වට ගොඩක්…

ඔහුත්, ඇයත් විවාහ ගිවිස ගන්නවා. වසර කිහිපයකට පස්සේ තවත් කෙනෙක්, තවත් ආගන්තුකයෙක් මේ කතාවේ, වස්තු බීජයත් තම දෝත දරාගෙන එකතු වෙනවා.

දැන් මේ කතාවේ චරිත ටික නම් සම්පූර්ණයි. හැබැයි ඇත්තටම…කව්ද මේ අය?

ඔහු, නමින්… ඔබේත්, මගේත් තාත්තා නම් වෙයි.

ඇය, නමින්… ඔබේත්, මගේත් අම්මා නම් වෙයි.

එතකොට මේ ආගන්තුකයා???

ඔව්… ඒ… මේ කතාව ලියන මමත්, කියවන ඔබත් කිව්වොත්???

මට දැන් හැකියාව තියෙනවා, ඔහුට තව දුරටත් ඔහු නොකියා තවත් නමකින් ආමන්ත්‍රණය කරන්නට. ඔව්… ඒ මගේ තාත්තා…ඔබේ තාත්තා… කලින් මට ඔහුට තාත්තා කියන්නට අවසර තිබ්බේ නැහැ. හැබැයි…ආගන්තුකයා බවට පත්වුණු ඔබත්, මමත් ඒ අවසර පත්‍රය දෝත දරාගෙන මේ කතාවත් එක්ක එකතු වෙනවා.

අපි ඔහු ගැන කතා කරමු. ඔබේත්, මගේත් තාත්තා ගැන කතා කරමු.

තාත්තාට තියෙන්නේ ගල් හිතක්…ඇයි මට සැර කරන්නේ? තාත්තාට මනුස්සකමක් නැද්ද? තාත්තා මට ආදරේ නැද්ද මේ අම්මා වගේ? අම්මා වගේ මගේ ළඟින් වාඩි වෙලා, මගේ ඔලුව අත ගාලා, “දුවේ… මගේ පුතේ…කොහොමද ඔයාට? ඔයා ඇයි අඬන්නේ?” කියලා මගෙන් අහන්නේ නැත්තේ ඇයි? මං ගැන හොයලා බලන්න එයාට වෙලාවක් නැද්ද?

ඇත්තටම, මං ඔය කිව්වේ ඔබේත්, මගේත් අතීතයේ යම් දවසක, සමහර විට මීට සුළු මොහොතකට කලින් අපේ මේ පුංචි හිත්වල ඇතිවුණු සංවාදයක කොටසක්, සිතුවිලි ටිකක්.

ඇත්තටම මගේ තාත්තා, ඔබේ තාත්තා… ඒ වගේද? ඔහු අමනුෂ්‍යයෙක්ද? අපි මේ තාත්තා ගැන කතා කරන මොහොතේ, සමහර විට ඔබේ තාත්තා ඔබත් එක්ක නැති වෙන්නට පුළුවන්. ඒ ගැන කියද්දී, ඔබට යම් අපහසුතාවයක් දැනුණා නම් ඒකට මට සමාවෙන්න. ඔබේ ඇස් වලට කඳුලක් ඉනුවා නම් මට සමාවෙන්න.

හැබැයි, අර මං කලින් කිව්ව ගල් හිතකින් වෙස් වලාගත් ඒ ආදරණීය හිතට ඒ කඳුළු සාක්ෂියක් වේවි.

ඔබේ දුකේදී…ඔහුගේ ඇස්වල ඔබ කඳුලක් නො දැක්කා වන්නට පුළුවන්. ඔබේ සතුටේදී… ඔහු ඔබත් එක්ක සතුටු නො වූවා වන්නට පුළුවන්… ඔහු ඔබේ හිස පිරිනොමැද්දා වන්නට පුළුවන්… හැබැයි ඔබ මාව විශ්වාස කරන්න… ඔබේ දුකේදී… ඔබ, මම මේ අපි හැමෝම ඇස් පියාගත් සුළු මොහොතකදී පවා කාටත් හොර රහසේ, තනියම ඔහු හඬා වැටෙන්නට ඇති. සිතින් කඩා වැටෙන්නට ඇති. මුළු ලෝකයක් ඔහුට නැති වුණා කියලා හැඟෙන්නට ඇති. ඔහු එසේ නොකළේ ඔබව ශක්තිමත් කරන්නට වෙන්නට පුළුවන්. හැබැයි ඔහු සිතින් කඩා වැටිලා… ඔබේ සතුටේදී, ඔහු සැබැවින්ම සතුටු වන්නට ඇති. මුළු ලෝකයම ජයග්‍රහණය කළා යැයි හැඟීමක් ඇති වන්නට ඇති. හැබැයි ඔබට එය නො පෙනුනා වන්නට පුළුවන්. මොකද.. ඔහු ඔබ පිළිබඳව සිතින් නිහතමානීව සතුටු වූ නිසා. ඔබ ඒ විඳින සතුට ඔබට උදාකර දෙන්නට ඔහු කොච්චර දුකක් විඳින්නට ඇති ද? කොච්චර…ඒ වෙහෙසකාරී ඇස් දෙකට නින්දක් නැති වෙන්නට ඇති ද? ඔබ වෙනුවෙන්, මේ මං වෙනුවෙන්…කොච්චර රෑ වැඩ කරන්නට ඇති ද? හැබැයි ඒ වෙලාවල්වලදි අපි සැප නින්දේ… අපි අපේ හීන ලෝකවල අතරමං වෙලා…

අලුත් අවුරුද්දට, නත්තලට, උපන්දිනේට අපිට අලුත් ඇඳුම් අරන් දීලා අපේ යහපත, අපේ ලස්සන ගැන හිතන අපේ තාත්තාට… ඇඳුමක් ගන්නට වත්කමක් නැති වෙන්නට පුළුවන්. හම්බ කරන සොච්චම ප්‍රමාණවත් නොවෙන්නට පුළුවන්. හැබැයි අපි දිහා බලලා, අපේ සතුට දිහා බලලා… අහිංසක සතුටක් ලබන්නට ඔහුට පුළුවන්. එහෙම කරන්න අපිට පුළුවන් ද? සමහර විට අපිට ඒ ගැන හිතන්නවත් බැරි තරම්. ඔහු සැබැවින්ම දෙවි කෙනෙක්. ජීවමාන දෙවි කෙනෙක්. රෑ නිදි මරාගෙන හම්බකරන හැම සතයක් ම ඔහු වෙනුවෙන් නොවෙයි ඔහු හම්බ කරන්නේ… ඒ ඔබත්, මමත් වෙනුවෙන් විතරමයි. ඒ අපේ අනාගතය වෙනුවෙන්. ඔහු දුක් විඳිද්දී අපි සතුටින්. හැබැයි අපි දුක් විඳිද්දී එය එසේ නොවේ. මගේ තාත්තාව වත්, ඔබේ තාත්තාව වත් මේ ලෝකේ කිසිම කෙනෙකුට සම කරන්නට බැරි වේවි. ඔහු අසමසමයි. තාත්තා මගේ ජීවිතයේ වීරයා. ඔබේ වීරයා. ඔබ යුවතියක් නම් ඔහු ඔබේ පළමු ආදරවන්තයා…

හැබැයි… ඔබත්, මමත් හොඳින් මතක තබා ගන්න ඕනේ එකම එක දෙයක් තියෙනවා. ඔහුටත් අපිට වගේම බැරි කාලයක් ඒවි. අන්න එදාට… තාත්තා වෙනුවෙන්, මගේ වීරයා වෙනුවෙන්, ඔබේ වීරයා වෙනුවෙන්, ඔබේ ආදරවන්තයා වෙනුවෙන් පුතාත්, දුවත් විදියට ඒ වගකීම ඉටු කරන්න අපි ලෑස්තියි ද? අපි ලෑස්තියි ද ඒ වීරයාගේ අමාරු කාලයේදී ඔහුට ශක්තියක් වෙන්නට?

ඒ වගේම… දවසක් ඒවි, ඒ වීරයාට සදහටම සමු දෙන්නට වෙන… අන්න එදාට ඔහු ආඩම්බරයෙන් කෑ ගහලා, මේ මුළු ලෝකයටම කියාවී…

“මම… මගේ පුතාට, දුවට, මගේ පණටත් වඩා ආදරෙයි…” කියලා.

ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. ඔහුත් මේ අපි වගේම හැඟීම්, දැනීම් තියෙන මනුෂ්‍යයෙක් වන නිසාමයි.

 

Image Courtesy :

https://goo.gl/images/sk73TB
 www.singledad.com/singlewp/wp-content/uploads/2015/12/main.jpg