සිරිලක ඔසු වරුණ- 2

Share

ලොවම නිරෝගී බව උදෙසා සටන් වදින, ප්‍රාර්ථනා එක් කරන මොහොතක, ශ්‍රී ලංකාව තුළ වැඩෙන ඖෂධීය ගුණයෙන් යුතු ශාක පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් දරන ලබන වෑයමෙහි තවත් දිගහැරුමක් මෙසේ අරඹන වගයි.

ඇත්දෙමට


Gmelina arborea දරන උද්භිත නාමය දරන මෙම ශාකය ශ්‍රී ලංකාවේ සෑම පළාතකම පාහේ දක්නට ලැබේ. මෙහි මුල්,මල්, ගෙඩි, පොතු ආදී කොටස් ඖෂධ පිණිස ගනු ලබයි. මුලේ පොතු, අජීර්ණය හා උණ රෝග සඳහා ද, ගෙඩි, දාහය සහ උණ නැසීමට ද, මල්, රත් පිත සුව කිරීමට ද යොදා ගැනේ. මීට අමතරව:

  • ශක්තිය වඩවාලීමට
  • වාත අමාරු, සෙම
  • පණු රෝග සුව කිරීමට
  • කෙස් වර්ධනය වීමට
  • ශරීරය සිසිල් කිරීමට
  • ඥාන ශක්තිය වැඩි කිරීමට

ඇත්දෙමට තුළ ඇති විශිෂ්ට ඔසු ගුණයන්ට හැකියාව පවතී.

හබරල
විශාල කොළ හා දිග පිති වලින් යුක්ත, අල සහිත මෙම ශාකය හොඳින් දියසීරාව පවතින ස්ථාන වල දක්නට ලැබේ. “සබර” නමින් විටෙක හැඳින් වූ වැදි ගෝත්‍රිකයන් විසින් ආහාරයට ගත් බැවින් “සබරල” ලෙසින් නම් කළ මෙම අල වර්ගය පසුව “හබරල” ලෙසින් හැදින්වීමට පටන් ගන්නට ඇතැයි විශ්වාසයක් පවතී.

මෙම ශාකය සෙම නසයි. අර්ශස් රෝගය සුව කරයි. පණු රෝග, බඩ පිපුම හා උදර රෝග සුව කරයි.

දේවදාර

Cedrus deodara නම් උද්භිත නාමය දරන මෙම ශාකය ශ්‍රී ලංකාවේ මෙන්ම උතුරු ඉන්දියාවේ ද වැවෙන ශාකයකි. උයන් අලංකාර කිරීමට ද යොදා ගනු ලබන මෙය දේවාල සහ විහාර ආසන්නව බහුලව වගා කර ඇත.

දේවදාර ශාකයේ අරටුවෙන් ලබා ගන්නා තෙල් සතුන්ගේ කුර ලෙඩ වලට යෝග්‍ය වේ.

ඊට අමතරව, පීනස, කැස්ස, වාත රෝග වලට ප්‍රත්‍යක්ෂ ඔසුවකි.

තොටිල

ගංගා, ඇළ දොළ හා වැව් ආශ්‍රිතව වැඩෙන “ශ්‍යොනාක” ලෙස සංස්කෘත නාමයෙන් හඳුන්වනු ලබන, ඉතා දික් වූ කරල් ඇති ශාකයක් ලෙස මෙය හැඳින්විය හැකිය.

කහට හා තිත්ත රසින් යුතු මෙය උණ, සෙම හා තුන්දොස් නැසීමට යොදා ගනී. කැඩුම් බිඳුම් රෝග සඳහා ද අනර්ඝ ඔසුවක් වන මෙය වීර්යය වැඩීමට හා බල වැඩීමට ද හේතු වේ.

අත් පා ඇට බිඳුණු විටෙක ගිතෙල් හා මී පැණි සමග මුසු කොට ආලේපයෙන් පසු තොටිල පොත්ත එම අස්ථි බිඳුණු ස්ථානයේ ඔතා කරනු ලබන අත් බෙහෙතෙන් දින තුනකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන හැකි බව පැවසේ.

ලුණුවිල

වයස්ථා, දිව්‍යා, සෞම්‍යා ආදී පර්යාය නම් 29 කින් හැඳින්වෙන, පුරාණ වෙද පොත්වල, බැමිතිරිය නමින් ද හඳුන්වන, මෙම ශාකය, දිය සීරාව පවතින මුහුදුබඩ ප්‍රදේශවල සරුවට වැඩේ. බඩ විරේක වීම සහ ලේ ශුද්ධ වීම සඳහා යොදාගන්න මෙය ළදරුවන්ගේ උදරාබාධ සඳහා ගුණ දෙන ඔසුවකි.

මීට අමතරව,කටහඬ වැඩවීමට මෙන්ම අවබෝධ ශක්තිය වර්ධනයට ද ලුණුවිල ඉතාම මහාර්ඝ ඖෂධයකි.

මෙවන් වූ තවත් ඉතාම වටිනා ඔසු ගුණයන්ගෙන් හෙබි තුරු වැල් අප සිරිලක පුරාම පවතින අතර ඒවායේ පිහිටෙන් අප බොහො දෙනා නිරෝගී බව පසක් කරගන්නා බව නොරහසකි. එබැවින් මෙකී නොකී සියලුම ඔසු පැළ පමණක් නොව මේ දෙරණේ වැඩෙන සියලුම ශාකයන් පණ මෙන් රැක ගෙන මතු පරපුරටත් සොබාදහමේ මෙම ආශ්චර්යයන් විඳගැනීමට ඉඩ ලබා දීම වත්මන් පරපුරේ අපේ යුතුකමයි.

References: ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි- 1- කරුණාරත්න දසනායක

Image Courtesy:

Featured Image- https://bit.ly/2WLiuaX

Content Image 1- https://bit.ly/2WKrBJ0

Content Image 2- https://bit.ly/3cqVIM0

Content Image 3- https://bit.ly/2WmC12r

Content Image 4- https://bit.ly/2SSnA4c

Content Image 5- https://bit.ly/2SVOl7J

 
Tagged : /