වසන්තය ඇවිත්….

Share

කාලෙකට පස්සෙ ආපු කොවුල් හාමි ඔරලෝසු රාළගෙ රාජකාරිය භාර අරගෙන. “කෝ.. කෝ..”. කොහෝ, කාව ද මේ තරම් උදෙන් හොයන්නෙ? ඊයෙ වැටුණු හිරි පොද වැස්සයි උදේ ළා අව්ව පොදයි එකට මුහු වෙලා එන නැවුම් පුසුඹ මුළු දවස ම ප්‍රබෝධමත් කරනවා. ඉස්සරහ ගහේ බැඳලා තියෙන මී පැණි ගුලාව පැණියෙන් පිරුණෙ බැලූ බැලූ අත පේන්න තිබබ, පාට පාට මල්වලින් වෙන්ටැති. වඳුරන්ට, ලේනුන්ට රජ මඟුල්. ගලාගෙන ආපු හීතල හුළඟට අඹ ගහේ බැඳපු සීනු ඇඬුවත් එයාලට නම් වගේ වගක් නැතිවා වාගේ. මුළු ගහ ම බදු අරන්.

බිත්තිවල අලුත් පාට ට කැපෙන්න දොර ජනෙල් රෙදි අලුත් වෙලා. හැම ගෙදරකින් ම ගලන්නේ බඩගිනි වැඩිකරන සුවඳ. කුස්සියේ විදුලි උදුන ට අලුතින් ම ඇවිල්ලා ඉන්නෙ කේක් ගෙඩියක්. ශීතකරණය ඇතුලේ එක එක විදිහෙ අලුත් පන්නයේ කෑම. අපි නම් එළියෙ ගල් තුනේ ලිප ළඟ වටවෙලා ඉන්නෙ හරියට කෝඳුරු කැවුම වටේ පොකුරු ගැහෙන කෝඳුරු රංචුවක් වාගෙ. මාස ගානක් අව්වෙන් වේලපු පොල් මෝලෙන් හින්දල ගෙනාපු තෙලේ රත්තරන් පාට කැවුම් ගෙඩි ආත්තම්මා එක්කලා හරි හරියට සිරික්කිය. එයාලට අපූරු කොණ්ඩ මෝස්තර දාන්නේ ආත්තම්මනේ.

නැකැත් නැති නොනගතේ ට පන්සල් ගිහින් ඇවිත් එක ම පාට අලුත් ඇඳුම් ඇඳගන්නකම් පොඩි ඈයින්ට නම් නිනව්වක් නෑ. ලිප ගිනි මොලවලා කිරි උතුරනවා වගේ හැම මූණක ම හිනාව ඉතිරෙනවා. ගනුදෙනු කරන නැකතට වත්ත පල්ලෙහා පරණ ළිඳට අඟුරු කෑල්ලකුයි මල් ටිකකුයි දාලා වඳින අත්තම්මා බුලත් කොලේක ඔතපු නෝට්ටුවක් කොලයක් අපි අතට දෙන්නත් අමතක කරන්නේ නෑ. කහ පාට බෝල කෝලිකුට්ටු, කර කරස් කොකිස්, තෙල් බේරෙන කැවුම්, අතිරස, මුං අතිරස, සුදට සුදේ දිලිහෙන අලුවා, කිරිබත් කැට, රටා දාපු අතිරස පිරුණු රස ලෝකයක් දිහා බලාන අනුභව චාරිත්‍රය එනකන් නම් ඉන්නෙ බොහෝම අමාරුවෙන්. බිලිං ගෙඩිවලින් යහමින් ඔප වැටුණු පිත්තල පහන් රාජයත් මේසෙ උඩ හිනා වෙවී..

තෙල් ගාන දාට ඉහට පයට කොල තියාන උකු ම උකු තෙල ගාලා සීතල වතුරෙන් නාලා හැමෝ ම ලෑස්තිය නෑදෑ හිත මිතුරන් පිළිගන්න. කැවිලි මේසෙ සාලෙට යද්දි කෑම කාමරේ ලොකූ මේසෙක දවල් බත, එළවළු මාළු පිණි දුසිමක් විතර එක්ක වැජඹෙනවා. ගෙදර ට එන පොඩිත්තන්ගෙ හඬින් මුළු වත්ත ම පිරෙනවා.

හැන්දෑ වෙද්දි සීනි නැති ඉඟුරු තේ එක්ක රස කැවිලි අරන් හැමෝම සාලෙ පැදුර ට එකතු වෙනවා. සර්පිනාවට යි, තබ්ලාවට යි තනි රකින අලුත් ම යාළුවා අයියාගෙ ගිටාර් එක. මුළු ගෙදර ම සංගීතෙ ගලනවා. අත්පුඩි හඬට පුංචි බබාලත් හිනා පානවා. ලස්සන ම හෝරා හිමි හිමී ට ඇදිලා යද්දි, හැම හදවතක් ම අලුත් සිතිවිලි එක්ක බැඳීම් අලුත් කර ගන්නවා. ඔව්.. වසන්තය ඇවිත්.. හැම හදවතක ම සතුට දෝරෙ ගලනවා.

Written by : Shahashra Dinasiri

Photo credit  :   https://bit.ly/34k6dxJ

 
Tagged : /