ගලෙන් බිඳුණු වැව

Share

ඉස්සර රජවරු හදාපු මහ වැව්වල පතුලෙ නිධාන තියෙනවාලුනෙ හංගලා. රජ්ජුරුවන්ගෙ කඩු, ආභරණ, සිංහාසන ඔය වගෙ හරි වටින දේවල්ලු එහෙම හංගලා තියෙන්නෙ. ආපහු නියම උරුමක්කාරයා එනකල් වැව ඒ වස්තුව රකිනවා කියලත් කියනවා.

ඔය වස්තු සම්පත් වගෙම කවුරුවත් නොදන්න ජීවිත රහස්, ප්‍රශ්න, අඩ දබර, වැළපීම්, සුසුම් ඕං ඔය වගෙ දේවලුත් මේ මහ වැව් රකිනවාලු හරි පරිස්සමින්.

මේ කතාවත් ඒ වගේ. බොහොම ඉස්සර කාලෙක රජරට පුරවරයෙ වෙච්ච සිදුවීමක්. ජීවිතය වරද්දගෙන, රටට ලෝකයාට මුහුණ දීගන්න බැරුව වැවට පැනලා සිය දිවි නසා ගත්තු තරුණ ගැබිනියක් !!!

නමුත්,  අද වෙනකල් ඒ මරණය අභිරහසක් ! කොටින්ම ගලෙන් බිඳුණු වැව සහ තරුණිය පමණයි දන්නෙ මේ සිදුවීම…

 

පන් කලණිය සුන්දර ලිය සොළොස් වියැති රුව

කන් සරසන රන් සකසන ලෝකුරු ගෙයි දුව

මින් පැවසෙන උන්ලට උන නිවන්න බැරි සොව

අදටත් රහසකි නිහඬයි ගලෙන් බිඳුණු වැව

 

මැදිවියෙ මිනිසෙකි හමු වෙන පිරිහුණු සවි ජව

සිත ගියෙ ඔහු වෙත කෙලෙස ද දුටු අයෙකුත් නොව

අසිහියෙ හිරි ඔත් සිඳුණි ද ඇරයුම් ලද පව

ඇසුණි ද ඉකි බිඳිනා’යුරු ගලෙන් බිඳුණු වැව

 

හිත් පුරාම රස සොයද්දි තුරුල් වෙලා තව

මත් උනාම පෙම් වැස්සක ඈට කොහෙද ඉව

නෙත් අයාම පුදද්දි රැක ආ නොකිළිටි බව

රැලි බින්දලු මහ සද්දෙට ගලෙන් බිඳුණු වැව

 

හැරදා ගොස් ඇත අසරණ කරවා ඇගෙ ලොව

විහිදා කුස් මඬලේ කිරි කැටියෙකි ලද දිව

පහදා දෙනු නොහැකි ය මරණය පමණකි සුව

මහ දිය යට හැංගුවා ද ගලෙන් බිඳුණු වැව

 

ඔය රහසත් ”එයා” හරි පරිස්සමට රකිනවා. තවත් රහස් ගොඩක්  ”එයා” සන්තකයි. කවදාවත්ම අපිට දැනගන්න නම් වෙන්නෙ නැති !

 

Image link: https://bit.ly/3px6yXf

 
Tagged : / /