රිදී තිරයෙන් සැඟව ගිය හින්දී ගීයක් 05

Share

කෙටි විරාමයක කාල පරාසයකට පස්සේ මම මේ ඔයාලව හමු වෙන්න හිතුවේ ලස්සන හින්දී ගීයක් අරගෙන යි. ඔය ගොල්ලන්ට කියන්න පැරණි හින්දී චිත්‍රපටවල අහු මුළු සොයද්දී අහඹු ලෙස තිරගත වීමට තරම් වාසනාවක් නැතිව ගිය අපූරු චිත්‍රපට පෙළක් එකතු කරගනිමින් තැනුණු සලරුවක් හමු වුණා . ඉතින් ඉන් ළගන්නා සොඳුරු ගීයක් මගේ කන වැකුණා. අහලම බලන්න නිර්මාණය වුණා නම් මෙය කොතරම් සුවදායක ගීතයක් වන්නට තිබුණාද කියා ? මේ එම ගීතයේ ශ්‍රව්‍ය දෘශ්‍ය දර්ශන මාත්‍රයක් යූ ටියුබ් එකෙන් ලැබුණු විදිහට ..


මධුබාලා සමගින් ගුරු දත්ත්
(www.bollywood.cz)[/caption]

බලන්න ඒ ගීය තිරයට ආවා නම්, 🙂 Titanic චිත්‍රපටයේ දර්ශන බිහිවෙන්නටත් දශක ගණනාවකට පෙර නැව් හිසක් මත දිග ඇරෙන මේ ගීය කොතරම් ළයාන්විත ද? එතරම් පිරිවැයක් දැරුවත් ප්‍රතිලාභයකින් තොරවම රිදී තිරයට පායන්නෙත් නැතුවම සැඟවී ගිය අරුමය…ඒ ලෝක ස්වභාවය වෙන්න ඇති.
ඉතින් චිත්‍රපටයේ මුල් විස්තර ඔයාලා අනිවාර්යයෙන්ම දැන ගන්න කැමතියි නේ?….
මේ චිත්‍රපටයට යොදා තිබුණේ ඉංග්‍රීසි නමක්. නමින් picnic වූ මෙම හින්දී චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ නළුකමෙහි සහ අධ්‍යක්ෂණයෙහි ප්‍රතිමූර්තියක් වන් වූ ‘ගුරු දත්ත්’ නම් මහා කලාකරුවා යි. ඔබ නැරඹු මෙම ගීත දර්ශනයෙහි පවා සිටියේ ඔහුම යි. ඔහු සමග පෙම්වතියගේ චරිතයට පණ පොවන මෙම නිළිය ‘සාධ්නා ශිව්දාස්නී’ ය.ඇය ඔහු සමග රඟපෑ එකම චිත්‍රපටය වන්නේ ද මෙය යි.නමුත් අවාසනාවකට මෙන් චිත්‍රපටය තිරගත වුණේ නැහැ.මෙම චිත්‍රපටය 50 දශකයේ අග භාගයේ හෝ 60 දශකයේ මුල් භාගයේ හෝ රූගත කිරීම් කරන්නට අරඹා ඇති බවට නිගමනය කරනවා.මෙය තිරගත වීම 1964 වර්ෂයට යෙදී තිබුණත් 1964 දහවෙනි මාසේ දහවැනි දින ගුරු දත්ත්ගේ සිය දිවි නසා ගැනීමත් සමග සියයට පනහක පමණ නිපදවා තිබුණු මේ සුන්දර කතාව කිසිවකුගේ තව දුරටත් අත පෙවීමක් නැතිවම රාක්කයකට පමණක් සීමා වුණා. නමුත් බොහොමයක් චිත්‍රපටවල විශේෂය වන්නේ ඒවා රූගත කිරීම්වලටත් ප්‍රථමයෙන් චිත්‍රපටයේ ගී තැටි නිෂ්පාදනය කර එළි දැක්වීම යි. ඒ යුගයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (රේඩියෝ සිලෝන්) ට එම තැටි සමාගම් ගිවිසුම් සහිතව ගී තැටි ලබා දුන්නා. රේඩියෝ සිලෝන් හි ජනප්‍රිය විදේශීය සේවාව මගින් ඒවා ප්‍රචාරය වෙන විට එතෙර මෙතෙර බොහෝ දෙනෙක් එම ගීත ආදරයෙන් වැළඳ ගත්තා. HMV,Philips,Odeon වැනි සමාගම් යටතේ එම ලේබලයේ නිෂ්පාදිත තැටි තවමත් සුරක්ෂිතව ගුවන් විදුලි සංස්ථාවේ පවතිනවා. මෙමගින් ඔවුන් චිත්‍රපට සඳහා හොඳ ප්‍රචාරයක් ලබා දුන්නා.මේ නිසා ශ්‍රව්‍ය-දෘශ්‍ය පට කෙසේ වුවත් ශ්‍රව්‍ය පට නම් ආරක්ෂා වීම සිදු වුණා .

majrooh_main
මජ්රූහ් සුල්තාන්පූරි
www.downmelodylane.com
n_dutta
N.දත්තා
(nduttasongs.musicworldofindia.com)

එලෙස සුරැකිව ඇති ගායනා කළ ඒ ගීතය අපි පහතින් රස විඳිමු. මෙහි සංගීත අධ්‍යක්ෂණය කළේ N. දත්තා නම් සංගීතවේදියා යි.චිත්‍රපටය සඳහා නිර්මාණය කළ සෑම ගීයක්ම ‘මජ්රූහ් සුල්තාන්පූරී ‘ විසින් රචිත ය. මෙම සිත් ගත් ගීය ගායනා කළේ ‘ආශා භෝස්ලේ’ සමඟින් ‘මෝහම්මද් රෆී’ යන ජනප්‍රිය යුග ගී ඉතිහාසයක් නිර්මාණය කළ ගායක දෙපළ යි. දැන් මුළු ගීතයෙහි අර්ථය සැකෙවින් විමසා බලමු. (ශබ්දොච්චාරණයට පහසු වෙන අයුරින් සිංහල අකුරින් ගීයේ පදවැල් ලියා තිබුණත් නාගරී අක්ෂරවලින් ලියලා තියෙන්නේ නිවැරදි අක්ෂර වින්‍යාසයට අනුකූලව යි.)

කිත්නා රංගීන් හේ යේ චාංද් සිතාරෝං කා සමා
ආප් තක්තේ හී නහිං ආප්කී ආදත් ක්යා හේ ?
ඉස් දමක්තේ හුඒ චැහ්රේ කී ච‍මක් කාෆී හේ
මුඣ්කෝ චාංද් ඕර් සිතාරෝං කී zසරූරත් ක්‌යා හේ?
කිත්නා රංගීන් හේ….

කුඡ් තෝ මෝසම් කී අදාඕං කා අසර් ලේ ලීජේ
මැහ්කී මැහ්කී සී හවාඕං කා අසර් ලේ ලීජේ
(ආප්කී රේශ්මී zසුල්ෆෝං කී මැහැක් කාෆී හේ //)
මැහ්කේ මැහ්කේ සේ නzසාරෝං කී zසරූරත් ක්යා හේ ?
ආප් තක්තේ හී…..

ඉස් ෆිzසාඕං මේං හේ මුහබ්බත් කේ ඉශාරේ කිත්නේ
දිල් කේ දාමන් සේ ලිපට්තේ හේ සහාරේ කිත්නේ
(ජෝ ඉධර් භී හේ උධර් භී වෝ කසක් කාෆී හේ //)
අබ් හමේං ඕර් සහාරෝං කී zසරූරත් ක්යා හේ?
ආප් තක්තේ හී….

Mohammed Rafi & Asha Bhosle
rafifanblog.blogspot.com

නාගරී අක්ෂරවලින් නිවැරදිව ,

कितना रंगीन है यह चाँद सितारों का समाँ
आप तकते ही नहीं आपकी आदत क्या है ?
इस दमकते हुए चेहरे की चमक काफी है।
मुझको चाँद और सितारों की ज़रूरत क्या है?
कितना रंगीन है….

कुछ तो मौसम की अदाओं का असर ले लीजै
महकी महकी सी हवाओं का असर ले लीजै
(आपकी रेशमी ज़ुल्फ़ों की महक काफी है। //)
महके महके से नज़रों कि ज़रूरत क्या है?
आप तकते ही….

इस फ़िज़ाओं में हैं मुहब्बत के इशारे कितने?
दिल के दमन से लिपटते हैं सहारे कितने?
(जो इधर भी है उधर भी वह क़सक काफी है। //)
अब हमें और सहारों कि ज़रुरत क्या है ?
आप तकते ही….

මෙන්න මේ වගේ තේරුමක් තමයි මේ සින්දුවෙන් කියැවෙන්නේ …

කොතරම් විචිත්‍රවත් ද මේ සඳ තරු ඇති සුයාමය
ඔබ එදෙස බලා සිටින්නේම නැත කුමක් ද මේ ඔබේ පුරුද්ද?
මේ බැබළෙන මුහුණේ කාන්තියම පමණක් සෑහෙන්නේ ය.
ඉදින් මට සඳ තරුවලින් නම් ඇති වුවමනාව කුමක් ද?

ඍතුවේ ලීලාවන්ගේ ප්‍රබෝධය මදකට අත් විඳින්න. .
සුවඳවත් පවනැල්ලෙ හි මිහිරි ප්‍රබෝධය විඳ ගන්න
ඔබේ සේද වන් කෙස් රොදෙහි සුවඳ පමණක් සෑහෙන්නේ ය.
ඉදින් සුගන්ධවත් දසුන්වලින් නම් ඇති උවමනාව කුමක් ද?

මේ පරිසරය පුරා ආදර ඉඟි නම් කොයි තරම් ද?
හද කෙළවරෙහි දැවටෙනා සැනසුම් නම් කොයි තරම් ද?
මෙහි ද ඇති එහි ද පවතින සියුම් වේදනාව පමණක් සෑහෙන්නේ ය.
ඉදින් දැන් මට තවත් සැනසුම්වලින් නම් ඇති උවමනාව කුමක් ද?

අහන්න මේ ඉමිහිරි ගීයේ හඬ…….පෞද්ගලිකව මම නම් කැමති ගීයක් තම යි මේ…