පිටස්තර ග්‍රහලෝක වර්ගීකරණය කරන්නේ කෙසේද?-3

Share

පෙර ලිපිය හරහා පිටස්තර ග්‍රහලෝක වර්ගීකරණය හදුන්වා දෙන ලද අතර එම වර්ගීකරනයේ අනිකුත් ග්‍රහලෝක විශේෂයන් මෙයින් ආවරණය කරනු ලැබේ.

සාගරමය ග්‍රහලෝක සහ කාන්තාරමය ග්‍රහලෝක(Ocean Planets and Desert Planets)

තම ග්‍රහලොවේ පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම ආවරණය කල හැකි මට්ටමේ ජල ස්කන්ධයන් හිමි ග්‍රහලෝක සාගරමය ග්‍රහලෝක වන අතර මතුපිට කිසිදු ජල මූලාශ්‍රයක් නොමැති ග්‍රහලෝක කාන්තාරමය ග්‍රහලෝක වේ. සිය ග්‍රහලෝකයේ ස්කන්ධයෙන් සියයට දහයකට ආසන්න හෝ වැඩි ස්කන්ධයක් ජලය හිමි කර ගන්නා ග්‍රහලෝකද සාගරමය ග්‍රහලෝක ලෙස ගැනේ.

සාමාන්‍යයෙන්  මෙම ග්‍රහලෝක සුපිරි පෘථිවීන්ද ඇතුලත් වන පරිදි පාෂාණමය ග්‍රහලෝක විය හැකි අතර එවන් යම් ග්‍රහලෝකයක් එම තාරකාවට අයත් ජීවයට හිතකර කලාපයේ පිහිටන විටදී,ගිනිකදු විදාරනයන් හා ධූමකේතු ගැටීම් හරහා අවශ්‍ය තරමේ ජලය ලබා ගැනීමෙන් සාගරමය ග්‍රහලෝකයන් නිර්මාණය විය හැක.

මෙවන් සාගරමය ග්‍රහලෝකයන්හි අඩු ඝනකම් වායුගෝලයක් අපේක්ෂා කල හැකි අතර, ජල වාෂ්ප ප්‍රතිශතය ඉහල හෙයින් ඉහල හරිතාගාර ආචරණයක් අපේක්ෂා කල හැකිය. එලෙසම මෙවන් ග්‍රහලෝක සතුව හයිඩ්‍රජන් හෝ හීලීයම් තබා ගැනීමට තරම් විශාලත්වයක් නොමැති විය යුතු අතර එලෙස වුවහෝත් උණුසුම් අයිස් යෝධයෙකු බිහිවේ.

එලෙසින්ම අයිස්මය යෝධයෙකු (නෙප්චූන්,යුරේනස්) මෙම ජීවයට හිතකර කලාපයට පර්යටනය(Migration) වීම හරහා ජලය අයිස් සිට ද්‍රව අවස්තාවට, අවස්ථා විපර්යාසයට ලක්වීම හරහාද මෙවන් සාගරමය ග්‍රහලෝක නිමැවිය හැක. මෙවන් විටකදී ග්‍රහලොවේ මුළු පෘෂ්ඨයම වාගේ සාගරයෙන් වැසී යනු ඇති අතරම කිලෝමීටර 60 ත් 130 ත් අතර ගැඹුරක් දක්වාම මෙම ද්‍රව ජලය පැවතිය හැක.  එනමුත් එයින් අනතුරුව දැඩි පීඩනය හේතු කරගෙන ඝන ජලය ග්‍රහලොව අභ්‍යන්තරයට වන්නට අපේක්ෂා කල හැකිය. මෙලෙස මව් තාරකාවේ සිට දූරස්ථ පථයක සිට මව් තරුවට ආසන්න පථයකට ග්‍රහ පථය වෙනස් වීම ග්‍රහලෝක පර්යටනය(Planetary Migration) නමින් හැඳින්වේ. මෙය සෑම ග්‍රහ පද්ධතියක් සදහාම පොදු වන අතර බ්‍රහස්පති දූරස්ථ පථයක සිට හිරු දෙසට ගමන් කිරීමත්, යුරේනස් හා නෙප්චූන් අභ්‍යන්තර කක්ෂයක සිට දූරස්ථ කක්ෂයකට ගමන් ගැනීමත් මෙම සංසිද්ධියට අදාලව අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ලැබෙන උදාහරණ ලෙස ගැනිය හැක. මෙවන් ග්‍රහලෝකයන්හි ජීවය ඇති විය හැකි දැයි කිව නොහැකි මුත් පෘථිවියේ ජීවය ඇරඹුවේ සාගරයෙන් හෙයින් ජීවය සම්බන්ධ බලාපොරොත්තුවක් මෙම ග්‍රහලෝක කෙරෙහිද තබා ගත හැක.

ඉහත පර්යටන ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට යාම හරහා ග්‍රහලොව තප්ත කලාපට පැමිණීමෙන් ජලය වාෂ්ප වීමෙන් හෝ වෙනත් හේතූන් මත ජලය මතුපිටින් වාෂ්පීකරණය වීමෙන් වියලි මතුපිටක් සහිත කාන්තාරමය ග්‍රහලෝක නිර්මාණය සිදුවේ. මව් තාරකාවට ආසන්න වීමේදී මෙම සාගරමය ග්‍රහලෝකයන්හි අධි පීඩිත ජලය supercritical  අවස්ථාවට එනම් වායු හා ද්‍රව අවස්ථා දෙක අතරමැදි අවස්ථාවකට පත්වේ.

වායු යෝධයන් (Gas Gaints)

පෘථිවි ස්කන්ධයට වඩා 10 ගුණයකට වඩා වැඩි ග්‍රහලෝක මෙම කාණ්ඩයට අයත් වන අතර කුඩා පාෂාණමය හරයකින් මෙම වස්තූන් සමන්විත වේ. බොහෝ දුරට හයිඩ්‍රජන් හා හීලියම් වලින් සමන්විත මෙම ග්‍රහලෝක සතුව ඉහල ප්‍රතිශතයකින් ජලය හා ඇමෝනියා ඇති විටදී අයිස් යෝධයන්(Ice Gaints ) ලෙස ගැනේ. ඒ අනුව අප සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් වායුමය යෝධයන් වන අතර යුරේනස් හා නෙප්චූන් අයිස් යෝධයන් ලෙස ගැනේ.

උණුසුම් බ්‍රහස්පතීන්(Hot Jupiters)

මව් තාරකාවට ඉතා ආසන්න පථවල ගමන් ගන්නා වායුමය යෝධයන් මෙලෙසින් සැලකෙන අතර ඉහල විචල(Variant) උෂ්ණත්ව වලින් සමන්විත වේ. වායුමය යෝධයන් සාමාන්‍යයෙන් බිහි වන්නේ මව් තාරකාවට අදාල තුහින රේඛාවෙන් එපිට වන බැවින් මෙවන් කලාපයන්හි වායු යෝධයන්හි පැවැත්ම පර්යටන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස සැලකේ. මේ අවස්ථාවේදී මව් තාරකාවේ සුළං මගින් වායු යෝධයාගේ වායුන් ගලවා ඉවත් කර හරින අතරම අධික උෂ්ණත්වය කරන කොට ගෙන වායුන් ග්‍රහලොවෙන් ඉවත් වීමද සිදුවේ. මෙම ක්‍රියාවලියේ අවසානයේදි පෘථිවි ස්කන්ධය මෙන් දෙගුණයක් දක්වා වන පාෂාණමය ග්‍රහලෝක නිර්මාණය විය හැකි අතර ඒවා ජීවයට හිතකර කලාපයටද ගමන් ගත හැකිය.

හුදෙකලා ග්‍රහලෝක(Rouge Planets)


මව් තාරකාවක් නොමැතිව විශ්වයේ ඉබාගාතේ සැරිසරන ග්‍රහලෝක මෙලෙස හැඳින්වෙන අතර ඒවා අනාථ ග්‍රහලෝක(Orphan Planets) ලෙසද හැඳින්වේ. මෙම ග්‍රහලෝක ඉතා අදුරු මෙන්ම හඳුනා ගැනීමට ඉතා අපහසු වේ. මෙවන් ග්‍රහලෝක නිර්මාණය වන ආකාර දෙකකි.

1.ග්‍රහ මණ්ඩල වලින් ඉවතට විසි වීමෙන්-ග්‍රහලෝක නිර්මාණයෙන් පසු එම ග්‍රහලෝක ස්ථාවර පිහිටීමකට පැමිණීමට උත්සාහ දරන අතර එහිදී අධි ස්කන්ධ ග්‍රහලෝක මෙහිදී පලමුව ස්ථාවර කක්ෂ වලට පර්යටනය වන අතර එහිදී එම පථයේ ඇති අනිකුත් ග්‍රහ වස්තූන් ඉවතට විසි කිරීම සිදුවේ.

2.අසමත් තාරකා ලෙස- අණුක වලාව හැකිලීමේදී තාරකාවක් වීමට තරම් ස්කන්ධයක් එක් නොවූ වස්තූන් ග්‍රහලෝක බවට පත්වීම. බොහෝ හුදෙකලා ග්‍රහලෝක මේ කාණ්ඩයේ යැයි සැලකේ.

විශ්වයේ සුලභම ග්‍රහලෝක විශේෂය ලෙසද මෙම හුදෙකලා ග්‍රහලෝක සැලකේ.

පිටස්තර ග්‍රහලෝක සොයා යාමේ ගවේෂණයන්ගේ ව්‍යාප්තියත් සමග මෙම වර්ගීකරණයන්ද ව්‍යාප්ත වනු ඇති සේම නව සාමාජිකයන්ද මෙම වර්ගීකරණයන් තුලට එකතු වනු නොවනුමානය. එලෙසින් පිටස්තර ග්‍රහලෝක වර්ගීකරණ විෂය තවදුරටත් පුළුල් වනු ඇත.

මූලාශ්‍ර
1.http://www.sun.org/encyclopedia/exoplanets
2.https://alchetron.com/Ocean-planet
3.https://courses.lumenlearning.com/introchem/chapter/supercritical-fluids/

ඡායා රූ මූලාශ්‍ර
1.https://alchetron.com/Ocean-planet
2.https://www.artstation.com/artwork/wQyKO
3.http://blogs.discovermagazine.com/d-brief/2018/08/17/water-worlds-common-exoplanets/#.XXrPQO_1mlg
4.https://nick-stevens.com/2016/07/31/rogue-planet/
5.http://blogs.discovermagazine.com/d-brief/2019/01/21/how-hot-jupiters-form/#.XXrRYe_1mlg
6.https://www.pinterest.com/pin/526569381423754081/

 
Tagged : / /