කෙලෙස ද?…

Share

එදා විසි පස් වසරකට පෙර මගහැරුණු ඒ සුබ පැතුම තුළ වූ කුඩා සටහනේ හිමිකාරිය සොයා ඔහු පියමැන්නේ පවසන්නට බොහෝ දෑ හිතේ දරාගෙනම ය. නමුත්…

දිදුලමින් තිබුණාට රෑ අහසෙ සඳ                  පළුව
පැතිරිලා ලොව පුරා ගිල ගමින් ඝන             කළුව
ළඟ ඉඳන් තනි මකා නුබට මදනල               සැලුව
තනි තරුව නැති ගගන දුකකි පාළුව           ගැලුව

කියඹුවැල් දඟකාර රටා නළලත                      මවා
වල නැගෙන කොපුලතින් සිනා දී ගිම්             නිවා
මිණි දිලෙන දෙනයන ම සලා සරතැස             දවා
මුදු සිනා මුව ඇඳෙයි එ’මුදු මතකෙන්              පවා

කොපුල් රත අවසඟ ව ගොසින් සුද      ඇඳුණිදෝ
මුදු දෙතොල් වැසි අහිමි වියළි බිම්        මැවුණිදෝ
පළිඟු නෙත් දෑල බිඳ අසනි වැසි            වැටුණිදෝ
හද නිවූ හඬ ගොළුව සිත සොවින්           රිදුණිදෝ

පෑයු ලෙස පුර හඳක් සිතුණි ගගනට                 එදා
අමාවක ළං කළෙත් ඒ සඳයි දුක                       සදා
වැටහුණේ මගහැරුණු බව හොඳ ම මිණ         එදා
සඳ නොවෙයි තරුවමයි නුබට සිටියේ              සදා

සුබ පැතුම් අකුරු කළ දෑත ළයෙහි ම              තබා
පොඩි නෝක්කාඩුවට දිගු කල් ම තිත               තබා
සතුට දුක මතක හැම හදේ කොනක ම            තබා
කියන් තනි තරුව කොහි ගියේ සුසුමන්              තබා

වැටෙන්නට බැරි කඳුළකට කිසිත්         නොකියා ම
ගිහින් හදවත දවා මතක පොදි               බැඳලා ම
හිස් වු දිවිය ම තදින් ඔය සුවඳ                  පිරිලා ම
තිබෙයි හදවත පුරා රෑ දවල්                 නොබලා ම

ලියූ කෙටි සටහනක තබා සැඟවූ                     රහස
දරා යළි නො එන්නට ගොසින් පතුරා              පවස
එවූ ඒ සුබ පැතුම තුළ වු අවසන්                       දවස
ගැහෙන අත් අකුරු මා බලා සැනසෙම්      කෙලෙස

 

Image Courtesy: https://bit.ly/2WhO7wA

 
Tagged : / /