නූතන මානව සම්භවයට නව ප්‍රවේශයක්

Share

නූතන මානවයාගේ සම්භවය කවදා, කෙසේ සිදු වූයේ ද යන්න බොහෝ දෙනා අතර මතවාදයට තුඩුදුන් කරුණකි. ලොව පුරා මේ සම්බන්ධව බොහෝ පර්යේෂණ සිදුවන අවධියක, මෙයට ජානමය ප්‍රවේශයක් ලබා දෙමින්, නව මතවාදයක් ගොඩ නැගීමට Huddersfield, Cambridge සහ Braga හි Minho යන විශ්වවිද්‍යාලවල ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් සමත් විය.

මීට වසර මිලියන 3 කට ප්‍රථම ආදි මානවයා සම්භවය වූ බවට බොහෝ සාක්ෂි පැවතුණ ද නූතන මිනිසා හා සමාන උසස් මනසක් ඔවුන් සතු වී ද යන්න විද්වතුන් අතර පැවති ගැටළුවකි. එය එසේ වූවත්, මේ පිළිබඳ පර්යේෂණ මෙහෙයවන පුරාවිද්‍යාඥයන් මත පල කරන්නේ නූතන මානවයා හා සම වූ ජන කොටසක් මීට වසර මිලියනයකට පමණ පෙර එනම් හිම යුගයේ දකුණු අප්‍රිකානු වෙරළ තීරයේ විසූ බවට සාක්ෂි ඇති බවයි.

මෙම ජන කොට්ඨාසය, නූතන මිනිසා හා සම වූ චින්තන ශක්තියකින් කටයුතු කරන්නට ඇතැයි සිතිය හැකි තරම් සාක්ෂි ඔවුන් භාවිතා කළ මයික්‍රොලිතික ගල් ආයුධ (microliths) සහ අඳින ලද චිත්‍ර මඟින් හමු වී තිබේ.

මෙම ජන කොට්ඨාසය සාක්ෂාත් කරගත් ජයග්‍රහණ සහ පසු කර ආ කඩඉම්, ඔවුන් සුවිශේෂී ජන කොට්ඨාසයක් බවට පත් කළ ද, දකුණු අප්‍රිකානු ‘Khoi-San’ ආදි මානවයන්ගේ ජානමය ලක්ෂණ මොවුන් හා සම නො වේ. එමෙන්ම, Homo sapiens මානවයාගේ සංක්‍රමණය අප්‍රිකාවෙන් ලොව පුරා ව්‍යාප්ත වීමට, එවක විසූ දකුණු අප්‍රිකානු ජන කොටස් දායක වූ බවට කිසිදු සාක්ෂියක් නැත. ඒ අනුව, නූතන මානව ගෙනෝමය හෙළි කරන්නේ, අප පැවත එන්නේ නැගෙනහිර අප්‍රිකානු ජන කණ්ඩායමකින් බවයි.

මෙවන් පසුබිමක, Huddersfield විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Martin Richards ද, Braga හි ආචාර්‍ය Pedro Soares ගේ මගපෙන්වීම යටතේ, Huddersfield – Minho විශ්වවිද්‍යාලවල ජාන පර්යේෂකයන් සහ Cambridge හි පුරාවිද්‍යා මහාචාර්‍ය Sir Paul Mellars යන කණ්ඩායම් අපූරු පර්යේෂණයක් මෙහෙයවා තිබේ. එනම්, අප්‍රිකානුවන් ප්‍රවේණියේදී මව් පාර්ශවයෙන් උරුම කර ගන්නා මයිටකොන්ඩ්‍රීය DNA පිළිබඳ විශ්ලේෂණයයි.

සංකේතාත්මක ද්‍රව්‍ය සහ මයික්‍රොලිතික ගල් ආයුධ පිළිබඳ සාක්ෂි හමු වූ පැරණි අප්‍රිකානු පුරාවිද්‍යාත්මක භූමි

මින් අනාවරණය වූ සුවිශේෂී කරුණ නම්, මීට වසර 65,000 කට පෙර දකුණු අප්‍රිකාවේ සිට නැගෙනහිර අප්‍රිකාවට කුඩා පරිමාණයේ ජන සංක්‍රමණයක් සිදු වී ඇති බවයි. නමුත්, මෙම සම්බන්ධය වත්මන මයිටකොන්ඩ්‍රීය DNA අධ්‍යයනයේදී හඳුනා ගැනීමට නො හැකි වී තිබෙන අතර, කාලයත් සමඟ සිදු  වන ජාන ප්‍රතිසංයෝජනයේදී එය ගෙනෝමයෙන් මැකී යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

පෙර කී සංක්‍රමණ, එකළ අප්‍රිකාවේ පැවති කාලගුණික තත්ත්ව පිළිබඳව ද තතු හෙළි කරයි. පසුගිය සියවස් කිහිපයක කාලය තුළ අප්‍රිකානු මහද්වීපයේ බොහෝ ප්‍රදේශ ශුෂ්ක කාලගුණික තත්ත්වයන්ගෙන් මිදී තෙත් පාරිසරික ලක්ෂණ උරුම කරගෙන තිබේ. දකුණු හා නැගෙනහිර අපිකානු ප්‍රදේශ අතර සිදු වූ සංක්‍රමණයේ ප්‍රතිඵලයක් ලෙස නව දොරටු විවර වීම මීට හේතු වන්නට ඇතැ යි සැලකේ. එමෙන්ම දකුණු අප්‍රිකානු ප්‍රදේශවල පැවති නවීන තාක්ෂණික සංකීර්ණතාව නැගෙනහිර අපිකානු ප්‍රදේශවල ද ප්‍රචලිත වී ඇත්තේ ද මෙම අවධියේ ය.

මෙලෙස සිදු වූ ඥාන සම්භාර ගලනයත් සමඟ, ජීව විද්‍යාත්මක ලෙසින් දකුණු අප්‍රිකානුවන් හා සුළු වශයෙන් වෙනස් වන නැගෙනහිර අප්‍රිකානු ජන කොටස්, ඒවා මහත් අභිරුචියෙන් වැළඳගත් අතර ඒ තුළින් ඔවුන් සතු සහජ දක්ෂතා ඔප් නංවා ගැනීමටත් පසුබට නොවීය. එබැවින්, නූතන මානවයා (modern Homo sapiens) නැගෙනහිර අපිකානුවෙකු ලෙස හැඳින්විය හැකි බව විද්‍යාඥ මතයයි.

මහාචාර්‍ය Mellarsගේ අර්ථකථනය නම්, මෙම ජානමය ප්‍රවේශය සහ පුරාවිද්‍යා තතු යන දෙකෙහි සංකලනයෙන් නූතන මානව සම්භවයේ සුවිශේෂි අභිවර්ධනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බවයි.

යොමුව: https://www.hud.ac.uk/news/2019/march/origins-of-modern-humans-richards-huddersfield/

 
Tagged :