මටත් තිබුණා කාලයක්….

Anuththara , 0 Comments

ඔබෙත් මගෙත් ජීවිතයේ ලි‍යැවුණු එකිනෙකට වෙනස් වූ කතාවන් බොහොමයක් ඇති. ඒ කතාවන්හී සුන්දරතම පරිච්ඡේදය ලියැවුණේ ළමා කාලයේදීය.

මීට වසර කිහිපයකට පෙරදී ඒ සොඳුරු කාල පරිච්ඡේදය අවසන් වන විට මට මෙන්ම ඔබටත් දැන් අපි වැඩිහිටියන් නේදැයි යන සතුට දැනෙන්නට ඇති. මතකද පුංචිම අවදියේදී අපි හැමෝටම තිබුණා ආශාවන් ගොඩක්. අම්මගේ සාරියයි අඩි උස සපත්තුයි, තාත්තගේ ටයි පටියයි ලොකු බෑග් එකයි අරගෙන සෙල්ලමට වුවත් අපිට උවමනා වුණේ ඉක්මනට ලොකු වෙන්නටයි. එහෙත් ආයෙත් ඒ කාලයට යන්නට ඇත්නම් යන පසුතැවීම අපි හැමෝගෙම හිතේ පොඩි හරි තැනක රැඳිලා ඇති. ඒ ගෙවුණු අතීතයේදි ප්‍රශ්න යනු මොනවාදැයි කියාවත් අප දැන සිටියේ නැත. එකල තිබූ ලොකුම ප්‍රශ්නය වූයේ උදෑසනින් අවදිව මටත් වඩා විශාල මල්ලකුත් කරපින්නාගෙන පාසලට ගොස් නා නා ප්‍රකාරයේ විෂයයන් තොගයක් මතකයේ තබා ගැනීමයි. ඔබටත් එය එසේම වන්නට ඇත.

එහෙත් එදා අප දුටු සුන්දර යැයි සිතූ ලෝකය එතරම්ම ලෙහෙසි පහසු තැනක් නොවන බව දැනුදු වැටහෙමින් පවතී. නැවතත් ආපසු හැරී ඒ අතීතයට දුව යන්නට ඇත්නම් කෙතරම් අගනේද. අද වැනි දිනක් එදා ඔබටත් මටත් තිබුණි. අද අප සිටියේ පාසලේ නම් ලෝක ළමා දිනය පිළිබඳ දිගු කතාවක් අව්රශ්මියෙහි හිටගෙන අකමැත්තෙන් වුවද අසන්නට තිබුණි. එමෙන්ම අයිස් ක්‍රීම් එකක් හෝ “Happy Children’s Day” ලෙස සටහන් වූ සිහිවටනයක් දෑතෙහි රැඳෙන්නට තිබුණි. එනමුත් ඒ මිහිරි නිමේශයන් සියල්ලක්ම අතීතයට එක්වී හමාරය.

එදා පාට ගෑ පුංචි ලී පුටුවෙහි හිඳ කළුලෑල්ල දෙස බලාගෙන අපි මවපු ඒ හීනයන්ගෙන් බොහොමයක් අද සෑබෑවක් වී තිබෙන්නට පුළුවන. ඇතැම් හීන හීනයක්ම වී බොඳව යන්නටද ඇත. ඒ කෙසේ වුවද ආයෙත් අතීත මතකාවර්ජනා ඔස්සේ පියමැන ගොස් යාළුවො වට කරගෙන තොරතෝංචියක් නැතිව කියවන්නට, ප්‍රශ්න සියල්ලම මඳකට අමතක කර ඇති තරම් සිනාසෙන්න, සීනු හඬට එකිනෙකා පෙරළාගෙන කැන්ටිමට දුව යන්නට, යහලුවන් සමඟ සෙල්ලම් කරන්නට, තාත්තා එනතුරු දොරකඩට වී බලා හිඳින්නට, පුංචි දඟ වැඩක් කර බැණුමක් අසා ගන්නට ඇත්නම් කෙතරම් අගනේද?

In-class, Assignments, විභාග අතර දොලනය වන අප සැමගේ ජීවිත තුළ සරලත්වයෙන් අව්‍යාජත්වයෙන් පිරි එදා සිටි කුඩා දරුවා තවමත් සුසුම් හෙලනවා ඇති. එහෙත් සංකීර්ණත්වය සහ තරඟකාරීත්වය හමුවෙහි අපට අපවම අමතකව තිබෙන්නට පුළුවන.

හෙට දවස මීටත් වඩා සංකීර්ණ වේවී. මොහොතින් මොහොත කාළය ගත වී මේ මොහොත පවා අතීතයට එක් වේවී. එහෙත් දවසක් ඒවී, පරණ වුණු ඇල්බම් එකක පිටු අතර වැහැරුණු දෑඟිලි එහෙ මෙහෙ යවමින් අපි අපිවම සොයන.එදාට නෙතටත් හොරැහින් කඳුළු බිඳුවක් රූටා වැටේවී.

 

Image Courtesy : www.thegood.co/wp-content/uploads/2018/06/whered2.jpg