වස් කවිය

Share

ලස්සන මලක් වගෙ තිබිච්ච ලස්සන හදවත, අද ගොරහැඬි ගලක් වගෙ වෙලා. ඒ අවනඩුව, අසාධාරණය, විරහව තමයි මේ එයා කියන්නෙ !

 

තුරුල් කරන් හදාගත්තෙ ඇහේ තියන්     මාව

වැරදි මොකුත් කරදරයක් වෙන්න නොදී මාව

සුදු පිරුවට ඇඳපු කෙනෙක් ගිවිස්සලා    මාව

පරිස්සමට බාර කළා බලාගන්න               මාව

 

අම්මි ගාව කිරිල්ලියක් වගේ හැදුණෙ    මං

තාත්ති ළඟ කුමාරියක් වගේ හිටියෙ      මං

මනාළියක් වෙලා සිහින ගොඩක් දැකපු මං

වැළහින්නක් වගේ තනිව වැළපෙනවා   මං

 

අඩි හප්පල කෑ ගහගෙන ගෙයි පුරාම                 බීතිය

විවාහයක් ගත්තත් හරි දෙපළු උනා                    ප්‍රීතිය

කොන්දක් නැති හයියක් නැති දෙකට නැමෙන නීතිය

ජාතිත් මම පතන්නෙ නෑ පිරිමි කියන                ජාතිය

 

තිබුණු ලස්සන මගේ දැන් නෑ ඇසුත් හොඳටම බොර     වෙලා

පිරුණු කටහඬ මුවේ නෑ මගෙ උගුර හරියට ගොළු         වෙලා

ලැබුණු කනකර උරුමයෙන් ගෙන විකුණුවා ගෙට ණය   වෙලා

බිඳුණු මගෙ හිත යළි හැදෙන් නෑ ජීවිතය දැන් හිර          වෙලා

 

ඉන්නෙ බෝසත් දෙවියො වාගෙයි හයක් හතරක් දන් නැතී

කිව්වෙ කොහොමද මහා ලොකුවට සාර දම් ගතිගුණ   ඇතී

මාව නොමරා මරන හැටි දැන් අනේ මට සරණක්       නැතී

පිරිමි කියනා උන්ට සාපය මගේ නම් වරදින්               නැතී

 

ආදරයක් ලැබුණෙම නෑ වද හිංසා            විතරමයි

හිත අස්සේ වහින කඳුළු අඩුවක් නෑ      එහෙමමයි

ගැලවීමක් නෑ මට දැන් මරණය මගෙ      විසඳුමයි

කවුරු කොහොම කීවත් අපි ගෑනු හරිම  අසරණයි

 

කවදාවත් පිරිමි උන්ට බහදෙන්නට එපා               ඔන්න

ජීවිතයේ සතුට හොයන් එපා විවාහයට                 යන්න

මගෙ කතාව කියනෙමි අද හැමදෙනාට දන්න       දන්න

මේ සුසුමන් පතනෙමි මම උන් වරිගෙට සාප     වෙන්න

 

Image link: https://bit.ly/3oR9Bwd

 
Tagged : / /