අසීමිත ප්‍රේමය වෙනුවෙන්…

Share

ආදරය කියන වචනය ඇතුලේ හැංගිලා තියෙන ලස්සන කතාවක් අපි හැමෝටම තියෙනවා. එක එක අයට එක එක විදියට දැනෙන කතාවක්. ඔබට, මට වගේම මේ ලෝකෙ පණ ගැහෙන හැම හදවතකටම දැනෙන කතාවක්. ඒ කතාව ඇතුලෙ විවිධාකාරයේ බොහෝ චරිත අපිට මුණගැහිලා ඇති. ඒත්, එහි පෙරවදන ලියපු උතුම් චරිත දෙක අපිට කවදාවත් අමතක කරන්න බෑ.

අර කියපු ඒ කතාව ඇතුලෙ, කොන්දෙසි විරහිත පරාර්ථකාමී සෙනෙහසක් වේ නම්, කොහේ ගියත් හැම මොහොතකම දැනෙන මතකයක් වේ නම්, මුවඟ ඇඳි සිනාවට එකතු වන, දුකේදී වැටෙන කඳුලක දී අත්නොහරින සවියක් වේ නම්, ඒ ඔවුන්ම පමණයි.

පුංචි කාලෙ දඟකාරකමට එහෙ මෙහෙ දුව පැනලා කරපු වැඩ දිහා බලලා, ඔවුන් දහසකුත් සිහින දකින්න ඇති. ඒ සිහින එකින් එක සැබෑ වෙන හැටි දැකලා, හදවතින්ම සතුටු වෙන්නට ඇති. දැඟලිල්ල වැඩිකමට වැටිල තුවාල වුණාම, අපටත් වඩා ඔවුන්ට රිදෙන්නට ඇති.

බඩගිනියි කියාගෙන ලඟට ආවම තමන්ට කන්න තිබුණු දේ අපට දීලා, ඔවුන් බඩගින්නේ ඉන්න ඇති. ලෙඩක් දුකක් හැදුනාම, අපටත් වඩා ඔවුන් දුක්වෙන්නට ඇති. ලස්සන සෙල්ලම් බඩුවක් ඉල්ලලා ඇඬුවාම, අමාරුවෙන් හරි අරගෙන දෙන්න ඇති. නොදැනුවත්ව හරි කරපු වැරැද්දකට දඬුවමක් දුන්නට පස්සේ, අපිට නොපෙනෙන්න හොරෙන් අඬන්නට ඇති.

මේ වෙන්න ඇති කියලා හිතපු හැමදේම, ඔව්, ඇත්තටම එහෙම තමයි. අපි ආස හැමදේම දීලා, අපි සතුටු වෙන හැටි දැකලා, ඔවුන් කොතරම් නම් සතුටක් ලබන්නට ඇත් ද?මේ ලෝකයේ එතරම් පරාර්ථකාමී, උතුම් සෙනෙහසක් ඔවුන්ගෙන් මිස වෙන කාගෙන් ලැබෙන්න ද?

මුළු ලෝකයම ඔබව ප්‍රතික්ෂේප කළත්, නින්දා කළත්, අපහාස කළත්, කොයි විදියකින් හෝ අසරණ කරන්න හැදුවත්, දුව ගෙනවිත් ඔවුන්ට තුරුළු වුණු ගමන් දැනෙන ඒ සෙනෙහසට, ලැබෙන ඒ ශක්තියට, හැඟෙන ඒ සැනසීමට පුළුවන්, හැම කරදරයකින්ම, හැම බාධකයකින්ම අපව මුදවාලන්න.

තව දුරටත් කියනවා නම්, හය හතර නොදත් කාලයේ ඉඳන් මේ මොහොත වෙනකන් වගේම මතුවටත්, වැටෙන නැගිටින හැම මොහොතකම ශක්තිය වන්නේ ඔවුන්මයි. ලෝකයා කුමන කම්කටොළු ගෙනාවත්, ඒ සැමගෙන් ආරක්ෂා කරමින්, සෙවණැල්ල වන්නේ ඔවුන්මයි. හති දමමින් දුවන ජීවන ගමනේ මග ඇරෙන බොහෝ දේ පෙන්වා දෙමින්, හරි මග යන්නට ගුරුහරුකම් දෙන්නේ ඔවුන්මයි.

ඉතින් ඔබට දැනෙනවා නේද, ඔබටත් නොදැනීම ඔබ වටා ලස්සන කතාවක් ගෙතිලා තිබෙන බව. උතුම් වූ හැඟීමක් එක්ක බැඳුණු කතාවක්. ලෝකයේ අනිත් හැමදේටම වඩා ගොඩක් වටින කතාවක්.

ඒත් ඔබ ඒ කතාවට වටිනාකමක් දී තිබෙනවා ද? නිවී සැනසිල්ලේ හිතල බලන්න. ඔබ ඔවුන්ට පෙරලා ඒ ආදරය දෙනවා ද? නැතිනම් එය අසම්පූර්ණ ඒකපාර්ශවික ආදර කතාවක් ද? සිතන්න.

ඒ කතාව සම්පූර්ණයි නම්, ඔබගේ ජීවිත කතාව සැමටම ආදර්ශයක් වේවි. ඒත් එය අසම්පූර්ණ නම්, ඔබ පිටින් පණ ගැහෙන මුත් ඇතුලතින් මි‍යදුන නිස්සාර ජීවිත කතාවක උරුමකරුවෙකු වෙවි. ඔබ එවැන්නෙක් නම්,අසම්පූර්ණ ඒ කතාවේ ඇති ඇඩුව පුරවාලන්න තව තවත් ප්‍රමාද වන්නට එපා. මේ මොහොතේ සිට පටන් ගන්න, ඒ හිස්තැන පුරවන්න, මිහිපිට දෙවියන් බඳු දෙගුරුන් වෙනුවෙන්… ඔවුන් ඒ ලබාදෙන අසීමිත ප්‍රේමය වෙනුවෙන්…

Image Courtesy – https://bit.ly/2K1lfhO

 
Tagged : /