ප්‍රඥාව විද්‍යාත්මක ද?

Share

ජීවය පිළිබඳ අර්ථ දැක්වීමේ ලිපි පෙළ 1

 

මිනිසා වූ කලී පරිණාමීය සත්ත්වයෙකු බව මානව සංහති විද්‍යාව අධ්‍යනය කිරීමේ දී  වැටහී යන බවට මානව විද්‍යාඥයෝ මත ඉදිරිපත් කරති. ජීවී විශේෂ අතුරින් වඩාත් දියුණු හා දියුණු කළ හැකි මනසකට උරුමකම් කියන මිනිසා ස්වභාවධර්මයට වඩාත් බලපැම් කළ හැකි ජීවී විශේෂය ලෙස දැක්විය හැක. මිනිසා යන්නෙහි පද නිරුක්තිය සලකා බලන කල “මනසින් උසස් සත්වයා” යන්න මතුවෙයි. ප්‍රාග් බුද්ධිමය අවධියේ සිට නූතන බුද්ධිමය අවධිය දක්වා ම මිනිසා සහ මනස අතර අවියෝජනීය බැඳීමක් ඇති පරිණාමීය ලක්ෂණ ඉතිහාසය තුළින් මතු වේ. එසේ නම් චින්තනය පිළිබඳ අධ්‍යනයක් සදහා මනස යන්න විස්තර කිරීමට පවතින ඉන්ද්‍රීය විද්‍යාව ඔස්සේ පර්යේෂණයක් මෙහෙය විය යුතු නො වේද?

අපගේ අධ්‍යනය තුළ වූ උපකල්පනය වූයේ මනසේ දියුණු වීම තුළ ශිෂ්ටාචාරවීම සිදු වූ බවය. නමුත් සමාජ විද්‍යාඥයෙකු වූ කාල් මාක්ස් මීට වෙනස් මතයක් දරයි. කාල් මාක්ස් සමාජයක ව්‍යුහය ප්‍රධාන කොටස් දෙකකට බෙදයි. ඒ අධෝ ව්‍යුහය හා උපරි ව්‍යුහය යනුවෙනි. මෙමඟින් සමාජය දෙමහල් ගොඩනැගිල්ලකට සමාන කරයි. යම් ගොඩනැගිල්ලක ප්‍රධාන ම කොටස පදනමයි. එසේත් නැතිනම් බිම් මහලයි. මෙය ශක්කිමත් වන තරමට ගොඩනැගිල්ලේ ආයුෂ රඳාපවතියි. එසේම යම් සමාජයක වඩාත් ශක්තිමත් විය යුත්තේ ආර්ථික සංස්ථාව බව මාක්ස් අවධාරණය කරයි. ආර්ථිකය හැර අනෙකුත් සියළුම සංස්ථා උපරි ව්‍යුහයට අයත් ය. එනම් ආගම, නීතිය, අධ්‍යාපනය, කලාව සහ සදාචාරය යන සියල්ල උපරි ව්‍යුහයට අයත් ය. එනම්, එහි අර්ථය වන්නේ ශිෂ්ටාචාරවීමෙන් ඇති වන ආර්ථිකමය සමෘද්ධ බව තුළ මානසික කාරණා දියුණු වන බවයි.

විද්‍යාත්මක චින්තනය තුළ තවමත් මේ පිළිබද පර්යේෂණ මෙහෙය වෙයි. මෙතෙක් ඇති අධ්‍යනයන්ට අනුරූප ව ගත් කළ පරිණාමය සිදු වන්නේ පාරිසරික බලපෑම් හෝ වෙනත් බලපෑම් මත වර්ණදේහ සහ ජාන වල සිදු වන වෙනස්කම් මත ය. මෙය භෞතික අධ්‍යයනයකි. ඉන්ද්‍රීය ගෝචර විද්‍යාවේ සොයා ගැනීමකි. නමුත් අතින්ද්‍රීය මනෝමය සම්බන්ධයක් පරිණාමය හා බැඳී පවතී ද යන්න ඉදිරි පර්යේෂණ සඳහා ගෙන යා යුතු ය.

මනස දියුණු කිරීම බොහෝ විට පෙරදිග දැනුම් පද්ධතිය තුළ හමු වූවත් වර්තමානය වන විට බටහිර අධ්‍යනයන් සඳහා ද එය මුල් වී ඇත. මෙහිදී මනස යන්න අවබෝධ කිරීමට ප්‍රඥාව යන්න තේරුම් ගත යුතු ය. ප්‍රඥාව යන්නෙහි, “Wisdom” යන්නට Oxford ශබ්දකෝෂයේ ලබා දුන් “The ability to make sensible decisions and give good advice because of the experience and knowledge that you have” යන අරුතට වඩා අතික්‍රමණික භාවාත්මක අර්ථයක් ගැබ් ව පවතියි. විමර්ශන බුද්ධියකින් බලන කල ප්රඥාව යනු වාස්තවික ලෙස යථාත්වය දෙස බැලීම පමණක් නොව සත්‍යාවබෝධය යනු හුදෙක් ම සම්මුතියෙන් එහා ගිය පරමාර්ථය අවබෝධ කිරීමක් බව වැටහේ. නමුත් මෙය කිසිදු විටක බුද්ධි පරීක්ෂණයකින් හෙළි කළ නොහැක්කකි.

ප්‍රඥාව හුදී බුද්ධිය අතික්‍රමණය කරන ලද මනෝභාවයකි. බුද්ධිය යන්නෙන් තර්කනය (Reasoning), විනිශ්චය (Judgment) සහ පරිකල්පනය (Imagination) වැනි බුද්ධිමය පක්ෂයන් අදහස් වේ. නමුත් ප්‍රඥාව යන්න තර්කනයකට ගෝචර නොවන්නකි. එයින් අදහස් වන්නේ අප කරන ලද තර්කනයෙන් සනාථවීම පමණක් යමක් පරමාර්ථ වශයෙන් ම සත්‍ය බව ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් නො වේ යන්නයි. ඊට හේතුව වන්නේ ඉන්ද්‍රිය විද්‍යාව සෑම විට ම දකින්නේ පවතින තාක්ෂණික සීමාව තුළ පමණක් වීමයි. තාක්ෂණය අලුත් වන සෑම විට ම ඉන්ද්‍රීය විද්‍යාව අලුත් වෙයි. නමුත් පරමාර්ථ සත්‍යය එසේ විය හැකි ද?

එය පරමාර්ථ වශයෙන් ම සත්‍යයක් නම් සදාතනික ව එය සත්‍ය විය යුතුම ය. සෑම පදාර්ථයකට ම පොදු විය යුතු ය.

අප ඉන්ද්‍රීය විද්‍යාව ඇසුරින් පදාර්ථය පිළිබඳ අධ්‍යනයන් බොහෝ කළත් ශක්තිය සහ පදාර්ථය අතර ඇති සබඳතාව ගැන සිදු කර ඇති පර්යේෂණ ඉතා අල්පයකි. නමුත් එසේ මෙම සබඳතාව පිළිබඳ කරුණු හෙළි වූ විටෙක “ජීවය” යන්න පැහැදිලි කිරීම අපහසු කරුණක් නො වනු ඇත. අපට ශක්තියක ප්‍රතිඵලයක් දකිනවා විනා ශක්තිය පිළිබඳ සෘජු අධ්‍යනයක් කිරීමේ අපහසුව මෙම පර්යේෂණ කෘත්‍යයන් අඩුවීමට හේතු වන්නට ඇතැයි සිතේ.

නමුත් මෙලෙස ශක්තිය පිළිබඳ පර්යේෂණ මෙහෙයවීම අපහසු කරුණකි; මක් නිසාද යත් ඉන්ද්‍රීය විද්‍යාව දියුණු වී ඇත්තේ ස්පර්ශ ලෝකය විවර කිරීමට විනා අස්පර්ශ ලෝකය පිළිබඳ විවර කිරීමට නො වේ. එනිසා ශක්තිය සහ පදාර්ථය අතර වූ සබඳතාව සොයා ගැනීමට බුද්ධිමතෙකුට පමණක් අපහසු කාරණාවකි. ඒ සදහා  ප්‍රඥාව අවශ්‍යය ම වේ.

ප්‍රතිභානය හෙවත් සත්‍ය දැකීමේ ශක්‍යතාව විමර්ශනාත්මක බුද්ධියකින් පුද්ගලයෙකුට හිමි වේ. මේ ක්‍රියාවලිය තුළ චින්තන නිදහස වැදගත් වන අතර භක්ත්‍යෝන්මාදයෙන් (Fanaticism) හා ආධානග්‍රාහීත්වයෙන් (Dogmatism) තොරවීම ආදීන විමර්ශනය උදාවීමේ අරුණාලෝකය වෙයි. අනිවාර්ය ලක්ෂණයක් නම් වෙනස්වීම හා අනිත්‍යතාව පිළිබඳ සාර්වභෞම නියාමය වූ හේතුප්‍රත්‍යතාව (Conditionality) සහ සාපේක්ෂතාවය අවබෝධ කර ගැනීමයි. සාපේක්ෂතාව තුළ අන්‍යෝන්‍ය ආයක්ත (Interdependent) බවක් දකී.

එසේ නම් ජීවය පිළිබද රහස් සොයා යාමේ දී පළමුව කළ යුතු දේ වන්නේ ප්‍රඥාව දියුණු කර ගැනීමයි. එනම් මනස තුළ වූ විනිවිදීමේ හැකියාව තේරුම් ගෙන මනසට කළ හැකි දේ පිළිබඳ තේරුම් ගැනීමයි. කෙසේ හෝ ජීවය තුළ ඇති ශක්තිමය සංකල්පය තේරුම් ගත යුතු ය. මේ සදහා නූතන විද්‍යාව ගත් උත්සාහයන් කිහිපයක් ම වෙයි. ඒ පිළිබඳ ඉදිරි ලිපි පෙළ තුළින් විවරණය කරමු.

 

Written by: Kosala L. Abeykoon

Image courtesy: https://bit.ly/3xkuxN1

 
Tagged : / /