ඉසුරුමුණිය නුරාවත

Share

ඔයා විශ්වාස කරන එකක් නෑ මේ කිව්වට!

“තිසා වැවෙන් නාලා පිරිසිදු වෙලා, රන්මසු උයනෙ සැතපිලා විවේක අරගෙන හිමිදිරි උදෙන්ම ‘එයා’ මේ යන්නෙ වෙන කොහෙවත් නෙමෙයි. ආදරය කියලා දුන්නු, ආදරය ඔප්පු කරපු, ආදරය රැක ගත්තු ලස්සනම ආදරවන්තම යුවළ බැහැ දකින්නයි, සුබ පතන්නයි, වන්දනා කරගන්නයි…”

 

දහසින් පැවතෙන උරුමෙක තෙද මහිමය දිදුලවුණි

අහසින් නැඟ එන පුන්සඳ විලසට සිත් ඔකඳවුණි

පහසින් සුවබර අස්නෙක උණුහුම විඳ සිනහසුණි

රහසින් මුමුණන ඔය වත පවසනු මැන ඉසුරුමුණි

 

සතුට බොඳ කර ගියොත් ඉවතට නියතමයි ළය ගිලන් වී

කුමට දිව රැය ඔබෙන් තොර ලොව හිඳිමි අබියස නොසෙල්වී

සිතට පැහැබර මිහිර ඔබම ය පැතුම නොයිඳුල පහන් වී

අදට නොව මතු සදාකල්හිම අපි අපෙයි නොරහසක් වී

 

උත්තමයි හදවතින් ඉපැදුණු බැඳීමක කුළුඳුල් රසේ

සිත්තමයි ගල් කුළින් සැරසුණු නිවීමක සැනසුම් තොසේ

ගෙත්තමයි සෙනෙහසින් නිමැවුණු කලාවක ලියවැල් ලෙසේ

ඇත්තමයි කැටයමින් සැඟවුණු විස් මවයි පවසම් කෙසේ

 

උදා හිරු කැන් මුසුව හිමිදිරි දිගාසිරි සෙත් සුව පතන්නේ

එදා මෙනි සිසිලස විඳින්නයි මෙපින්පුරයට වැඩමවන්නේ

පුදා සිත් දොහොතින් රකින්නට බැතින් ගරු බුහුමන් සදන්නේ

සදා නොමියෙන විරාජිත පෙම් පුරාවත අබිසෙස් ලබන්නේ

 

වෙනසක් වෙද ඉපිළෙන සිත් ගඟුලෙහි කවදත්

අඩුවක් නොව එදවස මෙනි කුළුපග තවමත්

මෙතුවක් යුග පසුකර කල් ඇදුණත් රසවත්

මොහොතක් නැත විරසක පෙම සුරකින හදවත්

 

වෙන් නොවෙන්නට රැකි පොරොන්දුව පවුරු සමුදුරු පරදවා

රන් හුයෙන් බැඳි අමර පතිවත සදාතනිකව පිහිටුවා

නන් දෙසින් කාලත්‍රයේ පණිවිඩය මනු හද පතුරුවා

පින් පුරන්නැති සියුම් ගල් තුඩ සුපෙම් මෙහෙවර පළඳවා

 

පිවිතුරු ආදරය වයස්ගත වෙන් නෑ’ කියන කතාව සිංහල අපේ සංස්කෘතියෙන්ම ඔප්පු වෙන තවත් හරි අපූරු තැනක්. එහෙම වචනෙන් කියල මේ අසීමිත රස ඉවර කරන්න බෑ. https://bit.ly/304JJiH උනන්දුවක් ඇත්තෝ ගවේෂණයෙහි යෙදෙත්වා !

දකින්න විඳින්න නිවෙන්න !!!

 

Image Courtesy: https://bit.ly/3q8Z9gz

 
Tagged : / / /