අඟුලු ලා සීල් කළ
හදවතේ දොර පියන්
විවර වූ සැටි පුදුමයි
ඔබේ නෙත් දුටුව දා
ඇරයුමක් නොලබා ම
ඉඟියකින් පමණක් ම
ඉඳින් මට අවසර ද
විඳ ගන්න ඒ හැඟුම
මුවින් මුව නොදොඩා ම
ඇස් වලින් පමණක් ම
දෙඩූයේ පෙම් වදන්
අහිමි වන දා ප්‍රේමය
රිදුම් දෙන නිසාම ද හදවතට
පවසන වදනක් පාසා ම
කෙතරම් නම් ඉමිහිරි ද
නිහඬ වුව ඒ අරුම ආදරය
විසල් හිස් අහස් ඉම
ඉඩක් බද්දට රැගෙන
යොදා නෙක නෙක වර්ණ
කළත් සිතුවම් සිහින
සිතන්නට නොතිබුණි ද
සේදී යන බව වර්ණ
කාල ඝන වලාවන්
පෙම් බඳින දින හිරුට
සයුරු රළ වෙරළ හැම
මොහොතක ම සිඹින වග
දැන දැනත් තැනුවේ ම
මාළිගා වෙරළ තෙර
තැනූ ඒ සැම සිහින
දිය වෙලා ගැඹුරට ම
රැගෙන ගිය සයුරට
නොහැකි ය දොසක් නැඟුමට
කරනට සිතුවම් තවත්
අහිමි බැව් පොදු සිහිනයක්
ගමන් ගත් තනි මඟ
දැන් මාවත් දෙකක්
තබා නැවතුම් තිතක්
නොහැරීම ඔබ දුර ගියත්
පියවරක් නොතබා ම
මම එතනමයි තවත්
ඉකිබිඳින හදවත
සනසන්න මොහොතක්
පබඳින්නට කවක්
ගෙන ඔබේ ප්‍රේමයෙන් බිඳක්
නොහැකි වූයේ මන්ද
මෙය නම් අරුමයක්
නොවිය එක් කවියක්
විය ඔබේ ප්‍රේමය ම කවි පොතක්
Written By: Sanduni Gunaratne
Image link: https://bit.ly/3kfMKam