දස්කොන් ප්‍රමිලා විලාපය

Share

මහනුවර යුගයෙ පැවතිච්ච සුන්දර හැබැයි අසම්මත ආදර කතාවක්. කෙළවර දරාගන්න බැරි දුකක් !

 

බැන්ද පෙමකට අයිති නැතුවට හදවතට ඈඳුණ නිසා

වින්ද රසකට තරුණ බිසවට පෙමින් හිත් පෑහුණ නිසා

කන්ද උඩරට නිල් අහස්ගැබ තිමිර පටලයකින් වසා

නින්ද සදහට ලෙයින් පිදුමට වීය සම්මත නැති නිසා

 

තිබුණත් පිරිපුන් කලවය තිසරු පෙමින් නැමිලා

කලකින් නැහැ උණුහුම් ආදර වැස්සක තෙමිලා

රජගෙයි ඇස් දහසකි දසතින් යදමින් බැමි ලා

පහසක් පතනා යුවතිය අග මෙහෙසිය ප්‍රමිලා

 

සුදු සම පෙනුම පිරිපුන් කය පවර බාසුරු

හදගැබ සිඹින පන්හිඳ තෙලිතුඩ ය කිවිසුරු

කගපත දිලෙන නෙතගේ අමරසය රණහුරු

දස්කොන් මැඳුරෙ මහ අධිකාරම් ය පේදුරු

 

වාසලෙ යන එන විට මේ නෙත් යුග පැටලෙන්නේ

පිනිකැට මෙනි හිරුට හොරෙන් අලුයම සුදිලෙන්නේ

සෙනෙහෙට පෙරළෙන සිත් පෙම මිස බය නොදකින්නේ

දස්කොන් ප්‍රමිලා ඇසුරෙහි අතු ඉති දලුලන්නේ

 

සිහළ ලෙයෙහි උරුමය හිමි නොමැති බව හැබෑමයි

නුදුරු දිනෙක සිහසුන මත අසුන් ගන්නවාමයි

නිළමෙවරුන් පේදුරු වෙත බැඳි විරසක බෝමයි

රජුන් කෙරෙන් බිඳවන්නට තැනුවෙත් මෙනිසාමයි

 

රුවක් අඹන්නට සෙත් පුද බිසවගෙ අපලයට

නොදත් විලස හිඳිනු නොහැක සැඟවුණු කැළලයට

රජුන් කිපී මෙපවත දැක සැණෙකින් උදහසට

නියම කළා දස්කොන් ඉන් ගෙල සිඳ මරණයට

 

අහිමි උනත් බැඳෙන්න ආදර හුයකින්

එකතු උනා විඳින්න අපි පැතු විලසින්

රැඳෙමි සදා මතකය වී නෙත අසලින්

මෙහිස පුදන්නෙමි ප්‍රමිලා ඔබ වෙනුවෙන්

 

බෝගම්බර දිය රැලි ඉකි බිඳ හඬනා තවම

මන්දාරම කඳු වළල්ල අතුරයි එක ලෙසම

අහස් තලය මිලින වෙලා සන්තාපය උරුම

දස්කොන් ප්‍රමිලා වියොවෙනි සෙංකඩගල සුසුම

 

අයිතියක් නැති ආදරවන්තයො දෙන්නෙක්. හරියටම කීවොත් කවියෙක් සහ රජ බිසව. ලාංකේය සිංහල සාහිත්‍යයේ එන ප්‍රසිද්ධම ආදර කතාවක්. මෙහෙම කියල ඉවර කරන්න බෑ. ඒ තරම් රහයි. හීන් සීරුවෙ ඉඳගෙන https://cutt.ly/hkc3kzB වැඩිදුර විස්තර එක්ක කියවල බලන්න මතක ඇතුවම.

දකින්න විඳින්න නිවෙන්න !!!

 

Image link: https://bit.ly/3sdL1Ea

 
Tagged : / / /