වෙසක් කැකුළු අතු අග සිට නටන විලාසේ…. අදටත් අපගේ හිත් තුළ රැව් පිළිරැව් දෙන ගීයක් විදියට හඳුන්වන්න පුළුවන්.. මේ ගීතය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ පළමු අධ්‍යක්ෂණය වන රේඛාව චිත්‍රපටයෙන්.මීට පෙර සිංහල දේශයේ සිනමාපට 40 ක් පමණ නිපද වුණ ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පළමු සිංහල චිත්‍රපටය ලෙස සැලකෙන්නේ රේඛාව යි. මන්ද ඊට පෙර නිපදවුණු සියලු සිනමාපට චිත්‍රාගාර තුළ නිපදවුණු දකුණු ඉන්දීය අනුකරණයන්ම පමණක් වූ නිසායි.
එකල මුල් බැසගත් මතයක් වූවේ එළිමහනේ දර්ශන ලබාගැනීම ලංකාව වැනි හිරුඑළිය අධික රටක සිදුකළ නොහැකි බවයි. නමුත් එකල පැවති සියලු සිනමාපට අභිබවා මෙය දර්ශන තල අතින් ඉතා ඉහළ බවයි විචාරකයන්ගේ අදහස. මා මේ කියන්නේ සත්‍යක් ද වග ඔබට එම ගීතය ඔස්සේ නැරඹීමෙන් ම දැක ගත හැකියි. එහි බැලුම් කරුගේ හා කුඩා ළමුන්ගේ දර්ශනය හරිම අපූරුවට සටහන් වී තිබෙනවා. සැබෑ ගම්මානයක ජීවිත, ගැමි ආකල්ප, ගැමි විශ්වාස, සරලව ම කිව්වොත් අපේ ගැමි සුවඳ තැවරුණු ඉතා සරල කතාවක් මෙයට පාදක වී තිබෙනවා. කෙසේ නමුත් මෙය එකල ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇද ගැනීමට සමත්වූවේ නැහැ. හේතුව එකල පැවති සිනමා සම්ප්‍රදායට වඩා මෙය හාත්පසින්ම වෙනස් වීමයි.
රේඛාව ගැන ටිකක් වැඩිපුර කථා කළේ එතුමා ගැන, එතුමාගේ කාර්යයන් ගැන අවබෝධයක් ලබා දීමේ හොඳම මඟ එය යැයි හැඟුණු නිසා. එකල මුල්බැසගත් සිනමා සංස්කෘතිය උඩු යටිකුරු කළ මේ නිර්මාණය වෙනුවෙන් කොපමණ මහන්සියක් (අපේ භාෂාවෙන් කිව්වොත් කොච්චර කට්ටක්) වූවා දැයි සිතා ගැනීම ඔබට බාරයි.
මෙරට ජනතාවගේ ජීවනාලිය නිරූපණය කරන්නා වූ මාටීන් වික්‍රමසිංහයන්ගේ ගම් පෙරළිය, මඩවල එස්.රත්නායකයන්ගේ අක්කර පහ සහ දම්මි හා සුගත් කියූ පමණින් සිහිපත් වන ගොලු හදවත මෙතුමාණන් අධ්‍යක්ෂණය කල මනරම් සිනමා පට කිහිපයක්.
එතෙක් මෙතෙක් සිංහල සිනමාව තුළ බිහිවූ විශිෂ්ටතම සිනමා සිත්තමක් වන, අවිවාදයෙන්ම එතුමාගේ විශිෂ්ටතම නිර්මාණය වන ජී.බී.සේනානායකයන්ගේ නිධානය කෙටි කතාව අනුසාරයෙන් නිපදවුණු “නිධානය” චිත්‍රපටය ගැනත් නොලියාම බැහැ. නිධානයක් සොයා යන තරුණයෙක් ඒ සඳහා බිලි දීමට අවශ්‍ය තරුණියක වටා ගෙතුණු බොහොම අපූරු කතාපුවතකි එය.
මේ සියල්ලටම වඩා පුදුමය වන්නේ ඉංග්‍රීසි පන්නයට හැඩගැසුණු පවුල් පසුබිමක උස් මහත් වූ එතුමා සාමාන්‍ය මිනිසුන්ගේ දිවි රටාව ඒ තුළ ජීවත් වන්නෙකුටත් වඩා මැනැවින් එතුමා අධ්‍යක්ෂණය කළ සිනමාපට තුළින් විදහා දැක්වීමයි. වෛද්‍ය ජේමිස් ෆ්‍රැන්සිස් පීරිස් හා ඈන් ගෙස්ට්‍රියට් ජයසූරිය මැතිණියගේ පුතණුවන් වන මෙතුමා ශාන්ත පීතර විද්‍යාලයෙනුයි ඉගෙනුම ලැබුවේ. එසේම මෙතුමා පුවත්පත් කලාවේදියෙක් ලෙස සහ ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරනවිට ලබාගත් අත්දැකීම් පසුකාලීන ජීවිතය සඳහා බොහෝ උපකාරී වී තිබෙනවා. මෙතුමාගේ වර්ෂ 99 ක් වූ ජීවන කාලය තුළදී සෙවණැල්ල වූ ආදරණීය බිරිඳ, සුමිත්‍රා පීරිස් මැතිණිය ද සිහිපත් කළ යුතුම ය.
අප අතරින් එතුමා වෙන්වී ගියද එතුමාගේ සිනමාපට තුළින් සිනමා ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් තුළ ලෙස්ටර් ජේම්ස් පීරිස් නාමය සදා අමරණීය වී අවසානයි. මන්ද හුදු ලාභ ප්‍රයෝජන නොතකා සිනමාවේ උන්නතිය උදෙසාම එතුමා ඇප කැප වී කටයුතු කළ නිසා යි.
අවසාන වශයෙන් එතුමා හට, එතුමාගේ ආගමානුකූලව දෙව් මව් තුරුළේ පහස ලබන්නට හැකි වේවා යි ඉත සිතින් ප්‍රාර්ථනය කරන්නෙමු.
image courtesy: http://www.thecolombopost.net/en/film-directors-felicitate
https://www.fdb.cz/film/rekava/150410
http://www.ft.lk/article/478443/gamini-fonseka–lester-james-peries-and-the-milestone-movie–nidhanaya