එයාට කතා කරන්න පුළුවන් උනා නම්, ලෝකෙට ම ඇහෙන්න කියාවි නේද, ඒ වේදනාව, තරහව, දුක, කඳුළ කොයි තරම් බර ඇද්ද. හිතන්න, කල්පනා කරන්න, එයාට නිදහසක් අයිති නැද්ද !
හෙම්බත් සිතින් කොඳුරන නඳ ඇහෙනවද
හුස්මත් සෙමින් අයදින පණ දැනෙනවද
වින්දත් ගතින් නොවිඳින දුක සිඳිනවද
දැන්වත් ඉතින් ලණුපොට අත අරිනවද
කුර ගෙවි ගෙවී බැති මෙහෙවර පුද කරලා
දුර හැපි හැපී කඩතොළු පියවර මැනලා
බර බැරි බැරී ඇති හැකි දහිරිය යොදලා
කර මගෙ නැතේ තව නම් පැසසුම් ලැබිලා
ගිනි අව්වෙ ගුලිවෙච්ච ගිමන්හලෙ යාරේ
තනිකමට මුහුවෙච්ච කෙවිටෙ රුදු පාරේ
බනින පද විසිරෙච්ච සුසුම් බිඳි වාරේ
පිනි කෙතට සැරසිච්ච දැයකි සරුසාරේ
දඟගෙය සමයි දිව රෑ නිම නොවන විඩා
සිහිනය තෙමයි කඳුළින් කැට දෙනෙත කඩා
අරුමය කිමැයි කම් නැති දෙසවනක දොඩා
මරණය සැපයි මේ පව ගෙවනවට වඩා
වැඩක් ළඟ විතරමද මං මතක් වෙන්නේ
වගක් වත් නැතිද ඇයි දැන් ඔහොම ඉන්නේ
ටිකක් ආදරෙ කළොත් පවක් නෑ වෙන්නේ
දුකක් විතරයි ඉතිං කුහක මිනිසුන්නේ
මුව රැගත් ළතැවුල ය නොමැත කිසි මඳහස
තව තවත් පටලවා නොනිමි දොස උදහස
බව කතර සක විලස පසින් එන අදහස
ගව කුලයෙ අපිට කිම අහිමි කළෙ නිදහස
පොත් පුරවා තිබුණත් රස ගුණ වරුණා
නෙත් අරවා දුසිරිත් අවරෙම හැරුණා
හිත් වල කෝ සෙනෙහස් කම්පිත කරුණා
මෙත් මුදිතා කවිවල පමණක් පිරුණා
Image link: https://bit.ly/3GnFXo0