දෙපා නැති මුත් සැරිසරන්නට
දෑස් නැති මුත් ලොව දකින්නට
සතුටු සේයා මන්ද නුඹ තුළ
පහස ලබමින් රිවි කිරණ තුළ
සැබෑවකි නොහැකිය සරන්නට
දිනමි සැම අභියෝග මෙහි හිඳ
නොහැක මා හට පලා යන්නට
එ කරුණින් නොදනිමි පරාජය
සියවසක් මා රැඳෙමි මේ ලෙස
සොම්නසින් දිනමින් සොබාදම
බොහෝ දන පැරදෙමින් සුසුමන්
හෙළන කල මා සෙවණ යට හිඳ
සැබෑවකි නොහැකිය දකින්නට
නුඹ ලෙසින් නෙත් තුළින් මේ ලොව
නමුදු මා හට දැනෙයි ලෝකය
ඔබට නොපෙනෙන යථාවේ ලොව
නුඹ දකින මේ හරිත රුව අද
දිදුලනා තුරුපත් එළිය කළ
ඉඩෝරය විත් හෙට දිනේදී
නසාලයි ගිනියමින් වියරුව
මා අලංකෘත කෙරු තුරුපත්
මගේ අසලම දිරායන සැටි
දැකිය යුතු ඒ යථාවේ ලොව
පසක් කළ බව හොදින් වැටහිණි
සැබෑවකි මා සොම්නසින්
දිවිය ලබමින් රිවි තුළින්
බෙදා දෙන්නෙමි ලැබු ජීවය
රස පලතුරක් කර තුටින්
සියක් දරුවන් පෙළෙන සාගිනි
නිවාලන විට නොවේ වෙහෙසක්
නිවාලන්නෙමි ඔබේ වෙහෙසත්
මගේ සොම්නස් සෙවණ මහිමෙන්
නොම උගත්තෙමි පලා යන්නට
මා දෙපා නොලැබු බැවින්
උගත්තෙමි මම යථාවේ ලොව
දෑස් මා නොලැබු බැවින්
සියවසක් මා නිහඬ බව තුළ
උගත්තෙමි සෙත සදන්නට ලොව
එයයි මා ලද උතුම් සම්පත
වනස්පතියක ලෙසින් මේ ලොව
Image courtesy: https://images.app.goo.gl/dCbPhNk1XAqpoEpf7