සඳ මතුපිට ජීවයක්…?

Share

අධික උණුසුමක්, අධික සීතල කාලගුණයක් මෙන්ම අධික විකිරණශීලීත්වයක් යටතේ දිවි රැකගත හැකි විස්මිත ජීවියෙකු ගැන ඔබ අසා තිබෙනවාද? ශරීර ප්‍රමාණයෙන් ඉතා කුඩා මිලිමීටරයක් පමණ වන මෙම ජීවියා ‘ටාර්ඩිග්‍රේඩ්’ වේ. ඕනෑම පරිසර තත්ත්වයකට ඔරොත්තු දිය හැකි, මිහිමත ජීවීන් අතුරින් ශක්තිවන්තයා වන්නේ ‘ටාර්ඩිග්‍රේඩ්’ය. ඉංග්‍රීසි බසින් ‘වෝටර් බේයාර්’ ලෙස හඳුන්වන මොහු දැකගත හැකි වන්නේ අන්වීක්ෂයෙන් පමණි.

‘ටාර්ඩිග්‍රේඩ්’ හට ජීවත් වීමට ජලය අත්‍යාවශ්‍ය නොවේ. මේ සත්වයාගේ සිරුරේ ක්‍රියාවලිය සිදුවන්නේ ‘ඇන්හයිඩ්‍රෝ බයෝසිස්’ නම් ආකාරයකටය. එය ග්‍රීක වදනකි. එහි අරුත ‘ජලය නොමැතිව පවතින ජීවය’ යන්නයි. මෙම ක්‍රියාවලියේදී ටාර්ඩිග්‍රේඩ් ජීවීන් හැකරැල්ලන් මෙන් පාද අට සිරුර තුළට හකුලා ගනී. ඉන්පසු ජලය ලැබෙන තුරු දශක ගණනාවක් හෝ නිද්‍රාගත තත්ත්වයකට පත් වේ. මෙහිදී ජලය වෙනුවට ආදේශක දියර බුබුලක් සෛල තුළ නිර්මාණය කර DNA අණු ආරක්ෂා කරයි. ජලය ලැබුණු පසු සෛල යළි ක්‍රියාකාරී වේ.

මෙම නිද්‍රාගත තත්ත්වයෙන් මොවුන්ට අභ්‍යාවකාශයේ පවා නොනැසී ජීවත් විය හැක. මේ නිසාම ටාර්ඩිග්‍රේඩ් පිටසක්වලින් පැමිණි ජීවියෙකු බව ඇතැමුන්ගේ අදහසයි. නමුත් ටාර්ඩිග්‍රේඩ්ගේ පරිණාමය පිළිබඳ සාක්ෂි මේ වනවිට සොයාගෙන ඇත. මෙම ජීවීන්ගේ විශේෂ 11,000ක් පමණ අද වන විට හමුවී ඇත. ටාර්ඩිග්‍රේඩ් අපෘෂ්ඨවංශිකයෙකි. මොවුන්ගේ සමීපතමයන් ලෙස ආත්‍රපෝඩාවන් වන කෘමීන්, මකුළුවන් අයත්වන ක්‍රස්ටේසියාවන් සැලකිය හැක. පැහැදිලි ලෙස වෙන්වී ඇති හිසක්, වෙන් වෙන්ව පිහිටන කුඩා ගාත්‍රා සහ ශක්තිමත් නිය ටාර්ඩිග්‍රේඩ් සතුය. මෙම ජීවීන් කාන්තාරවල, අයිස් තට්ටුවල, මුහුදේ, මිරිදිය ජලයේ, වැසි වනාන්තර වල, මඩ යමහල්වල සහ ඉහළම කඳු ශිඛරවල දැකගත හැක.

විද්‍යාඥයන් මේ වන විට ටාර්ඩිග්‍රේඩ් ගැන විශාල උනන්දුවක් දක්වති. ඒ ඔවුන්ගේ නිද්‍රාගත තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කර එය මිනිසුන් සඳහා ඖෂධ නිපදවීමට යොදාගත හැකි බැවිනි. එමෙන්ම ඕනෑම පරිසර තත්ත්වයකට ඔරොත්තු දෙන භෝග නිපදවා ගැනීමටත්, ගගනගාමීන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂිත උපක්‍රම නිපදවීමටත් හැකිය.

ඊශ්‍රායලය ඔවුන්ගේ මංගල අභ්‍යාවකාශ යානය වන ‘බෙරෙෂීත්’ පසුගිය අප්‍රේල් මස අභ්‍යාවකාශගත කරන ලදී. නමුත් එම මෙහෙයුම අසාර්ථක කරමින් අප්‍රේල් මස 11 වන දින එය සඳ මතට කඩා වැටුණි. එම ගවේශණ යානයේ ටාර්ඩිග්‍රේඩ් රංචුවක්ද සිටි බව පසුගිය දා අනාවරණය විය. ඊශ්‍රායල විද්‍යාඥයන් ටාර්ඩිග්‍රේඩ් ජීවීන් යවා ඇත්තේ ඔවුන්ව නිද්‍රාගත තත්ත්වයට පත් කරමිනි. යානය කඩා වැටෙද්දී මෙම ජීවීන් සඳුගේ පස් අතරට එක් වන්නට ඇතැයි විද්‍යාඥයන් පවසති. සඳේ ජලය නොමැති වුවද ජල අංශු පවතුන බැවින් ටාර්ඩිග්‍රේඩ් රංචුව ඔවුන්ගේ නිද්‍රාගත තත්වයෙන් අවදි වුවහොත් සඳ ඔවුන්ගේ නව නිවහන වනු ඇති බවට විද්‍යාඥයන් අදහස් පළ කරයි.

(2019 ඔක්තෝබර් මස 20 වන දින ලංකාදීප පුවත්පතේ පළ වූ ලිපියක් ඇසුරිනි.)

Image Courtesy:- https://binged.it/2NPa51P

 
Tagged : / /