බලන් කැඩපත

Share

“අද කොණ්ඩෙ කපන්න හරිම අමාරු වුණා නෙ.”

අප්පච්චි එහෙම කියද්දි මමත් ටිකක් පුදුම වුණා.

“ඒ ඇයි ඒ ? ”

එහෙම ඇහුවෙ අම්මා. වයස නිසා අපේ දැන් කොණ්ඩෙ ගිහින්. එතකොට කපන්න අමාරුයි.

මගෙ ඇස් වලට කදුලු පිරුණෙ මටත් නොදැනිම.

පොඩි කාලෙ ඉදන් අනිත්‍ය ගැන කොච්චර බණ අහලා තිබ්බත් මගෙ අම්මටයි අප්පච්චිටයි විතරක් නෙවේ මටත්  ඒ දේටම මූණ දෙන්න වෙනවා කියලා කවදාවත් හිතුනෙ නැහැ. මට විතරක් නෙවේ ලෝකෙ කොයි කාටත් එහෙම හිතෙනවා හරිම අඩුයි.

අප්පච්චි ගෙ මූණ දිහා බැලුවෙ නිකමට වගේ. පොඩි කාලෙ මාව අතින් අල්ලගෙන ඉස්කෝලෙ එක්කන් ගියා වගෙ නෙවේ දැන් මූණ වෙනස්. අම්මගෙත් මූණෙ තරුණ කම ටිකෙන් ටික ඈත් වෙලා. මට වාව ගන්න බැරි තරම් දුක හිතුණා. අම්මගෙත් අප්පච්චිගෙත් මූණ ගෙවෙනකම්ම අපි වෙනුවෙන් වෙහෙසිලා.
මට එකපාරටම මතක් වුණේ මගෙ physics sir, අසේල සර් ව.

“ඕගොල්ලො මතක තියා ගන්න ඔයා ඔය ලියන පෑනෙන් තීන්ත විදිහට දිය වෙවී යන්නෙ ඔයාගෙ තාත්තා වගුරන දහඩිය. අම්මා හලපු කදුළු. කවදාවත්  ඒ දෙන්නා අමාරුවෙන් හම්බ කරන සල්ලි නාස්ති කරන්න එපා. ඉගෙන ගන්න”

සර් ගොඩක් වෙලාවට කියන කතාවක්.

අපි පොඩි කාලෙ අම්මාගෙයි අප්පච්චිගෙයි තිබ්බ තරුණ කම ආයෙ ගන්න බැහැ. මොකද අපි වෙනුවෙන්ම ඒගොල්ලන්ගෙ ශරීරය වැහැරිලා ගිහිල්ලා. වයසින් වැඩි වෙද්දි  ඒගොල්ලො ගොඩක් අපේ ආදරය බලාපොරොත්තු වෙනවා. හරියට අපි පුංචි කාලෙ අපිව බලා ගත්තා වගේ.
අපි නොදන්නා කාලෙ අපි කරපු කියපු සමහර දේවල් අම්මල මහ පොළොව වගේ ඉවසන් දරන් හිටියා. එකම දේ දහ පාරක් විතර අහ අහ කරදර කරනකොට කොච්චර නන් ඉවසන්න ඇතිද? අපිත් ඒ විදිහටම ඉවසගෙන දෙමවුපියන්ට ආදරය දක්වන්න ඕන.

අම්මල ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නෙ ඒගොල්ලො වෙනුවෙන් අපි ගත කරනා කාලය. ගොඩක් දරුවන් තමන් ගෙ පරිගණකය ඉස්සරහ කාලය ගත කරනව මිසක් තමන්ගෙ අම්මගෙ තාත්තගෙ සිතුවිලි ගැන හිතන්නෙ නැහැ. හිතන්න ඒගොල්ලන්ට කොච්චර රිදෙනව ඇද්ද? පාවිච්චි කරන පරිගණකයත් තාත්තා බොහොම අමරුවෙන් හම්බ කරපු සල්ලි වලින් ගත්තු එකක්. ඒත් අපිට තාත්ත වෙනුවෙන් කාලයක් නැති වුනහම කොච්චර නන් හිත රිදෙනව ඇද්ද?

හිතන්න…. අපි අද හුස්ම ගන්නෙ, කෑම කන්නෙ, මේ විදිහට ජීවත් වෙන්නෙ, තමන්ගෙ අම්මා තාත්තා නිසා. කොච්චර ගහ මරාගත්තත් කිසිම දේශපාලකයෙක් අපිට කන්න බොන්න දෙන්නෙ නැහැ. “අප්පච්චි” කියන ගෞරවනීය නාමය හිමි විය යුත්තෙ තමන්ට ජීවිතයටත් වඩා ආදරය කරනා, තමන්ට ජීවය දුන්, තමන්ගෙ ඇට මිදුලු ඇට මිදුලු පාසා, නහරයක් නහරයක් පාසා අපිට ආදරය කරන, තමන්ගෙම අප්පච්චිට මිසක් වෙනත් පුද්ගලයෙකුට නම් නෙවේ.

දෙමවුපියන් ගැන ආයෙමත් වචන කීපයක් ගොනු කරන්න හිතුනෙ රටේ ලෝකෙ සිද්ද වෙන දේවල් දිහා දැක්කම.

තමන්ගෙ අම්මා තාත්ත වෙනුවෙන් මෙච්චර කල් කාලයක් වෙන් කරගන්න බැරි වුණ දරුවො දැන් වත් හිතන්න. ඒ ගොල්ලොත් එක්ක කතා බහ කරලා සතුටින් තියන්න. මොකද අද අපි මේ තත්වෙන් ඉන්නෙ ඒ දෙන්නට පින් සිද්ද වෙන්න.