සබඳ,
ඔබගේ සුවදුක් කෙසේදැයි සාමාන්‍ය පෙම් හසුනක මෙන් විමසා හෝ සොඳුරු ගී පද වැලක් මුලින් ලියා හෝ දයාබර ව නුඹ අමතන්නට තරම් සිත් පහන් නැති බැවින් මෙසේ නිකන් ම ලියමි. වට්සැප් තිබුණ ද ලියුම් ගනුදෙනුව වඩා සොඳුරු යැයි ඔබ ද මා ද තීරණය කළ ද, ප්‍රථම හසුන ලියන්නටවත් අප දෙදෙනාට ම ඉස්පාසුවක් නොමැති වූයේ මන්දැයි මම අදටත් නොදනිමි. එසේ ලියන්නට මඟ බලා හුන් හසුන් සමූහයේ ප්‍රථමය මෙන්ම අවසානය ද මම මෙසේ සනිටුහන් කරමි.
ආදරය නම් සුන්දර වරදක් යැයි අසා තිබුණ ද එය මෙතරම් දරුණු ගණයේ වරදක් යැයි මට පසක් කර දුන්නේ නුඹ ය. හිමි නැති එහෙත් අහිමි කරගනු නොරිසි ප්‍රේමයක ඇලුණු මා, අහම්බෙන් වට මුරුගසන් වැස්සක තෙමී ඇති බව පසක් වන විට සියල්ල සිදුවී හමාර ය.
නුඹගේ වදනක් පාසා නුඹට ඇති ආලය දිනෙන් දින වැඩි කරගත් මම මහා මුග්ධයෙක් යැයි දැන් මට සිතුණත් එදා මම තනිකර ම ෆැන්ටසියක ගිලුණෙමි. වැහිබර සැඳෑවල නුඹත් සමඟ දෑත් පටලා වීදි දිගේ පියමනින්නට, උණුසුම් කෝපි කෝප්පයක් තොල ගාමින් සොඳුරු දේ ගැන දොඩමලු වන්නට මම සිහින මැව්වෙමි. සීත මීදුම් දුමාරය මැදින් නුඹත් සමඟ සොබාදහමේ අපූරු තැන් සොයා ඇවිදින්නට මම පිඹුරුපත් සැකසුවෙමි. දින ගැන්නෙමි. රැයක් පුරාවට නුඹත් සමඟ වල්පල් දොඩන්නට, සිනාවෙන්නට, අඬන්නට මම සිතා උන්නෙමි.
එහෙත් අද ඒ සියල්ල සිහිනයක් ම වී හමාර ය. මෙතෙක් කාලයක් ඒ සිහින දැක ඇත්තේ මා පමණක් බව නුඹ ම මට පසක් කර දුන් තැන්හී පටන්, නුඹව ද අමුණා පින්තාරු කළ මාගේ ඒ ජීවන පරිච්ඡේදය එහෙම පිටින් ම මකාදැමිය යුතු බව මට වැටහුණත් එතරම් ප්‍රබල පින්තාරු ශෝධකයක් මා සතුව නොමැත. එබැවින්, ඒ සිතුවම් එහෙම පිටින් වීසිකර දමා නුඹේ ආදර අධිකරණයේ තීන්දුව පිළිගෙන විත්ති කූඩුවෙන් මම බැස යමි.
ආදර දණ්ඩ නීති සංග්‍රහයේ බරපතල වැරදි ඝනයට අයිති, ඒකපාර්ශවික ප්‍රේමය නම් දරුණු වරද සිදු කළ මම, ආදර පුදසුනේ පිපෙන්නට හුන් ළපටි කුසුමන් මවිසින් ම තලාපෙළා දමා මලසුනේ හෙළා එයින් උපදින වේදනාවට කඳුළු ද නොසලා සිටිය යුතු ය යන දැඩි දඬුවමට යටත් වී සිටින්නෙමි. මා හට මෙම දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා ඇපෑලක් ඉදිරිපත් කිරීමට පවා ඉඩ නොදී මෙම නඩු විභාගය අවසන් කිරීමට තරම් නුඹ දැඩි වූයේ ඇයිදැයි මම නොදනිමි.
කෙසේ වුව ද, නුඹ බිඳ දැමූ ඒ ෆැන්ටසියේ බල මහිමයෙන් ගැලවී ගත නොහැකි වූ මගේ ජීවිතයට නැවත ආදරය නම් වූ ගින්දර අවැසි නැතැයි මම දැඩි සේ තීරණය කළෙමි. එබැවින්, ආදරය අමු අමුවේ මරාදමා, කීතු කීතු කොට, ආදාහනය කර මතක වස්ත්‍ර ද පූජා කළ බැව් පමණක් අවසන් වශයෙන් ලියා තබමි.
මෙයට විශ්වාසී,
බිඳුණු සිතැත්තී.
Image Courtesy: https://bit.ly/3DrxP4P