සත් මහල් ප්‍රාසාද මැද
සොමි කිරණ දිලෙන සඳ
සසර හමු වූ විලසට
පැමිණ, නික්මී ගිය ද
මිනිස් – යක් – දෙව් වෙස් ගත් ද
අග්නි ජාලා අතර
පෙමෙහි රස දුකම මිස
කිනම් සතුටක් වේ ද?
අසයි නො වැටහෙන ලෙසක.
සෙනෙහස රජයන
පොරණ පෙම් වනස්පෙත
නො වේද සුන්දර පෙනෙන විලසට
හිමි වීම හද පැතූ ලෙසටම
මහරු පෙම නම්, එය ද නම් ලද?
යළිදු පෙරළා කිසිත් නො පතා
ලෝබ සිත් නොම දරා,
රිසි වූ අයෙකුට පිදුව මනා
විඳිනු මිස, විඳවනු නැති
අල්වා ගත් තැන – අත්හැරීම ද ඇති
අල්පේච්ඡ සිතිවිලි සමුච්ඡයක් ලෙස
පෙමෙහි නිසිරුත් පසිඳලන සඳ
සතුට හිමි, අපි ළඟම මිස
හිමි – අහිමි රේඛාවේ නො වන වග
පසක් කරගනු ඇත, විඩාබර සිත.
(සහශ්‍රා දිනසිරි විසින් රචිත “මා නුඹේ රාධා” පැදි පෙළට පිළිතුරු කවියකි!)
සේයා රූ: https://bit.ly/37Joiak