ආදරණීය නවාතැන…සරසවිය…

Share

කාලය මැවූ වෙනසක අරුමයක්…එදා , අද ඔබ මුහුණ දෙනවා වගේම දවසක්. දින වකවානු මාසයකින් පමණ ඉක්මන් වෙලා. නංගියේ මල්ලියේ දන්නවා ද ඉතින් ඔබ මටත් වඩා වාසනාවන්ත යි. ඔබ මේ පින්බිමට පා තැබුවේ ඒ වාසනාව උරුමයක් කරගෙන. අවුරුදු ගණනාවක් පුරා දැරූ  මහන්සියේ  ප්‍රතිඵල, සරසවි වරමත් සමඟ සැබෑ වෙලා.

අද ඔබට මේ පරිසරය නෙතට නුහුරු දසුනක් ලෙසින් දිස් වෙනවා ඇති. වා සුසුම  වෙනදාටත් වඩා උණුසුම් බවක් දැනෙනවා ඇති. සිතෙහි අසා දැනගන්නට වෙර දරන ප්‍රශ්න පත්‍රයක් සැකසෙනවා ඇති. නංගියේ මල්ලියේ ඉවසන්න, කාලය ඔබට පිළිතුරු සපයාවි. හඳුනන මුහුණු කිහිපයක් අතරේ නුහුරු නුපුරුදු ඡායා බොහෝමයක් ඔබ පසු කරගෙන යනවා ඇති. නමුත් මා අද ඔබට ප්‍රත්‍යක්ෂ  වෙන්නම්, තවත් මාස කිහිපයකින් ඒ නුපුරුදු මුණගැසීම් ඔබ හා බැඳුණු සමීපතම මිත්‍රත්වයක පුරුක් වන බවට.

කොළොම්පුර සරසවි බිමට පියමන් කළ ඒ වසරක මතක ආවර්ජනය වචනවලට සීමා මායිම් කරන්නට තරම් මා පොහොසත් නැත. වසරක් පුරා මා ගොනු කළ මතකයන්, අත්දැකීම් බොහෝමයක් ඇත. නො හඳුනන අපි දිනෙන් දින එකිනෙකා හඳුනාගත් ආකාරය, සරසවි බිමේ අපි නො දත් බොහෝ දේ ඉගෙනගත් අයුරු මතක පොතෙන් එබිකම් කරන්නේ සොඳුරු සිනහවකින් මුවඟ සරසන අතරතුරම ය.

“Fresher’s meet” එක් සොඳුරුතම අවධියක්. ක්‍රීඩාවට ඇළුම් කළ, කිසි දිනෙක ක්‍රීඩාවේ නො යෙලුණු සියළු දෙනාම එකම අරමුණක් ඔස්සේ ජයග්‍රහණයේ කුසලානය උරුම කරගත්තේ සහෝදරත්වයේ සවිය පිළිබිඹු කරමිනි. එසේ ආරම්භවූ අපේ සහෝදරත්වය අවුරුදු කෑම මේසය, වෙසක් සැරසිලි, භක්ති ගීත, ලේ දන් දීමේ කඳවුර යන බොහෝමයක් සංධිස්ථාන පසු කරමින් අද වන විට සවිමත් පවුරක් ලෙසින් බැඳී පවතී.

නංගියේ මල්ලියේ විශ්ව විද්‍යාලය දැනුම සන්නද්ධ කරගැනීමට වෙන්වූ ස්ථානයක් පමණක් ම නොවේ. නර්ථනය, ගායනය, රංගනය යන ත්‍රිත්ව කුසලතා ප්‍රගුණ වන ස්ථානයක් ද වේ. මෙහි තනියට පාළුවට ඉඩක් නො මැත. ගෙවෙන  සෑම තත්පරයක්ම සතුට සිනහව මැද ගලා යයි. ඒ සෑම මොහොතක්ම විඳගන්න, වසරක් අවසානයේ ඔබටත් මෙවන් වූ ආවර්ජනයක් ගොනු කිරීමට හැකි වේවි.

දක්ෂයින් පිරිසක් එක් වූ ස්ථානයක අධ්‍යාපන පසුබිම පිළිබඳ අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැත. ඔබ සැබෑ කරගෙන ඇත්තේ බොහෝ දෙනා පෙරුම් පුරන සරසවි සිහිනයයි. එහි නිසි ඵල නෙලා ගැනීම ඔබ සතු වගකීමයි. ඉතින් නංගියේ මල්ලියේ , සාමුහිකත්වය හා සෙනෙහස කැටිවූ ආදරණීය නවාතැන වෙත මෙසේ ඇරයුම් කරන්නම්… රැඳෙන්න අපි සමඟ, ආදරයෙන් පිළිගන්නම් ඔබ සැවොම.

 
Tagged :