වසර දෙකක් තුනක් වැනි කෙටි කාලයක් තුල මුලාවේ, සඳ නේන දා, රිදුමන්, මඟ හැරී වැනි හදෙහි සියුම් තැන් වලට ආමන්ත්‍රණය කරමින් ලක්ෂ සංඛ්‍යාත රසික ආකර්ෂණයක් ලබා සිටින ලක්ෂිත මිහිරාන් නමැති තරුණ කලාකරුවාගේ 2024 වසර අග භාගයේ එළි දැක්වුණ “මා දෙපාරක්” ගීතය ඔහුගේ අනෙක් ගීත වලට නොදෙවෙනි හැඟුම්බර නිර්මාණයක් ලෙස සැලකිය හැකිය.
පෙර ගීත වල මෙන් ම මෙහිද පද රචනය හා ගී තනු නිර්මාණය ඔහුගේම වෙයි.
ගීතය ආරම්භයේ සිට අවසානය දක්වා හද ගැස්මේ රිද්මය, සංගීතය හා මුසු කිරීමෙන් රසික හදවත් වල වඩා තීව්ර ආමන්ත්‍රණයක් කරන අතර ගීතය පුරාවටම කියැවෙන ඒ විරහ වේදනාව හා දරා ගැනීම, ගීතය අවසානයේදී හෙළන බරැති සුසුමෙන් සහෘදයාටද දැනවීම විශේෂත්වයක්.
විරහවේ වේදනාවට තුඩු දුන් බිඳ වැටුණු සබඳතාව පිළිබඳ පසුතැවෙන බවක් “අප හමු වූ මුල් දින වෙත දැන් යනු බැරිය ගෙවී ගියේ මගෙ දිවියේ හොඳ හරිය” පේළි වලින් ඉස්මතු කරයි. මෙහිදී එම ප්‍රථම හමුව සිදුවූ දිනට යාමට හැකිනම්, එම හමුව වැළැක්වීමට එම ස්ථානය මඟහැර යාමට, එම පුද්ගලයා හමු නොවී සිටීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන බවක් ව්‍යංගයෙන් කියැවෙයි. මෙය,එම සබඳතාවය තුලින් තමාට සිදුවු ප්‍රබල හද රිදුම් නිසාවෙන් හටගත් ආත්මානුකම්පාවක් ලෙස දැක්විය හැකිය.මේ ආකාරයට ගීතය පුරාවටම සෘජුව හා වක්‍රව ඔහුගේ පසුතැවීම මනාවට පිළිබිඹු කරයි.
ඇතැම් සබඳතා ආරම්භයේදී අනෙක් පුද්ගලයාගේ ඇතැම් චර්යා, ගතිගුණ තමාට නොගැලපෙන බව හැඟුනත් ඒවා ගලපා ගැනීමට හෝ ඉවසා ගැනීමට මහඟු වෙහෙසක් දරන අවස්ථා තිබේ. නමුත් ඇතැම් පෞරුෂත්ව ලක්ෂණ ටික කලක් ඔවුන් යටපත් කරගෙන සිටියද දියෙහි එබූ රබර් බෝලයක් සේ නැවත ඉස්මතු වේ.
“නුඹ නුඹම වූ තැන – එයයි මට වැරදුණු තැන” පේළිය එම ගැඹුරු අර්ථය සියුම්ව නිරූපණය කිරීමට සමත් වී තිබේ.
තමා ඉතා දැඩි සේ ප්‍රේම කළ එම පුද්ගලයාට මේ වන විට තවත් කෙනෙකු හා ප්‍රේම සබදතාවක් ඇති බවක් හා වෙනකෙකුට ප්‍රේම කරන බවක් “මා හැරෙනකොට වෙන කෙනෙකු සමගින් නුඹ සුවසේ නිදායි ද රාත්‍රියේ” යන පේළියෙන් කියවෙයි. මෙය අර්ථ කීපයකින්ම එළිදැක්විය හැකිය. ඇතැම්විට එම පුද්ගලයා තව කෙකු සමග විවාහ පත්වී සිටි හැකි බවක් කියැවෙන අතර එසේත් නැතහොත් තවත් පුද්ගලයෙකු හා ප්‍රේමයෙන් වෙලී මක් සිටින බව කියැවේ. ඍජු අර්ථය ගන්නා විට මෙය කුහුලෙන් කරන ප්‍රශ්නාර්ථයක් වුවත් මෙය වෙන සබඳතාවයක් ඇති බවට නිශ්චය කර ගැනීමෙන් පසු තමාට එසේ කරන්නේ කෙසේදැයි යොමු කරන ප්‍රශ්නාර්ථයකි. ප්‍රේම කරන කාලයේදී ඔහු සමග රාත්‍රිය පහන් වනතුරු කතිකා කළ ඇතැම් බොළඳ හා ගැඹුරු,දීර්ඝ සාකච්ඡා මේ වන විට තව කෙනෙකු සමග සිදු කරන බවක්ද ව්‍යංගයෙන් කියවෙයි.එසේ වුවද තමාට එසේ තවත් පුද්ගලයකු සමඟ නව සම්බන්ධතාවයකට පිවිසීමට හෝ කාලය ගත කිරීමට රැය පහන් වනතුරු කතා කිරීමට සිතක් නොමැති බවටද මෙයින් ඉඟි කරයි.
මෙහිදී බිඳවැටී ගිය ප්‍රේම සම්බන්ධතාවය නිසා තමා ඉතාමත් ව්‍යාකූලත්වයට පත් වී ඇති බවක් “නුඹ නොසිටි දිනවල මට දැනුනා සීතල” යන පේළියෙන් කියවෙයි. සාමාන්‍යයෙන් සීතල උණුසුම වැනි හැඟීම් අපිට පාලනය කරගත හැකි අතර නිදසුනක් වශයෙන් සීතල දිනවල උණුසුම් ඇඳුම් ඇඳීම උණු කෝපි පානය වැනි ඉච්ඡානුග ක්‍රියාමාර්ගයන් ගත හැකිය. එලෙස මෙහි කියවන පරිදි මානසිකව ඇතිව තිබෙන දැඩි ව්‍යාකූලත්වය ද තමාට යථා තත්ත්වයට පත් කර ගැනීමට ඉඩකඩ තිබූ බවත් තමා එසේ සිදු නොකල බවත් මෙම පේළියෙන් ව්‍යංගයෙන් කියවෙයි.
නමුත් ජීවිතයේ අපට අවශ්‍ය නොවෙනස්ව අපව දරාගත හැකි, තමා තනි නොකරන පුද්ගලයෙකු බැවින් එවැනි පුද්ගලයෙකුගේ අවශ්‍යතාවයක් පිළිබඳව මෙම ගීතය කියැවේ. එසේ නොවෙනස්ව සිටින පුද්ගලයා තමාගේ ජීවන සහකාරුද සමීපතම මිතුරෙක්ද එහෙම නැතිනම් දෙමාපියන් ද යන්න ඍජු ලෙස පවසා නැති වුවත් තමා හැර දමා නොයා තමා අසලින් රැඳී සිටිය හැකිදැයි විමසන බවක් “නොවෙනස්ව ඉන්නවද අහස මට අවැසි උණුහුම” යන පේලියෙන් ගම්‍ය වේ.
සබඳතාව බිඳ වැටීමෙන් පසු මෙම පුද්ගලයාගේ හද බිඳී ගිය ස්වරූපය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට හා මනස ශක්තිමත් කර ගැනීමට මෙම පුද්ගලයාට තවත් කාලයක් තනිවම සිටීමට වන බවට “තව නිවෙන්න නම් වෙනවා මට තනිවෙන්න” යන පේළියෙන් කියවෙයි. එමෙන්ම විරහ වේදනාව සැලකිය යුතු කාලයක සිට විඳෙව්වද මෙම පුද්ගලයාගේ සිතින් එම වේදනාව මුළුමනින්ම පහව ගොස් නැති බවද එම පෙළින් කියැවෙයි.
බිඳීගිය පෙර ප්‍රේම සබඳතාවේ පුද්ගලයා, තමා අසලින් රැඳී සිටි දිනවල බැල්මෙන් පවා තමා සහනයක් ලද බවත් මේ වන විට ඉතාම සාමකාමී දිනවලදී, සාමකාමී අවස්ථාවකදී පවා තමාට කිසිම සැනසීමක් නැති බවත් ගීතය පුරා කියැවෙයි. තමාට ඉතාම සමීපතම පුද්ගලයන් පවා සැනසීමක් ගෙන දීමට අපොහොසත් බවක් “නුඹ නොමැති දා අසලින් දැවටී හමන සුළඟත් මට සැනසුමක් නොදේ” යන පේළියෙන් ගම්‍යවේ.
මෙම හඳ බිඳුමෙන් පසුව තමාට තවත් ප්‍රේම සබඳතා අනවශ්‍ය බවත්, ඉදිරි ජීවිත කාලයම ස්වාධීනව ජීවත්වීමට තරම් හිත හදාගෙන ඇති බවත් “මෙතැන් පසුවට නුඹත් නොමැති නම් තනිව යන්නම් දිවි ගමන පාඩුවේ” පේළියෙන් සෘජුවම එළිකරයි. තවද මෙම ප්‍රේම සබඳතාවය පවා ආරම්භ කරේ එම පුද්ගලයා තමන් ජීවිතය හමුවූ හොඳම හමුවීම බවට හදවතට තදින්ම දැනුණු අවස්ථාවකදී බවත්, එම සබඳතාවේදී තමන් ඉතාමත් අවංකව ම ගැඹුරින් ප්‍රේම කළ බවත්, මින් මත්තට තවත් සබඳතාවක් පිළිබඳව සිතීමට හෝ අනවැසි බවට සිතේ දරුණුවට කාවදී තිබූ බව ක් මෙහි එන “හදෙහි අවසන් දොරටුව හැරියේ නුඹට පමණයි කියමි මා ප්‍රේමියේ” යන පේළිය සාක්ෂි දරයි.
කෙසේ වුවද එම පුද්ගලයාව නැවත කිසිදු වතාවක තම ජීවිතයට ළං කර ගැනීමට අනවශ්‍ය බවක් මුළු ගීතය පුරාම විවිධාකාරයෙන් මතු කරයි. “යළි නොපෙනෙනා හැඩරුව නුඹගේ තාම නොමැකී මනසේ ඇඳී තියේ” යන පේළියෙන් මෙයට නිදසුනකි. මෙහිදී යළි නොපෙනෙනා හැඩරුව ලෙස ගම්‍ය කරන්නේ තමා තවදුරටත් එම පුද්ගලයාව මුණගැසීමට නොයන බව හා එම පුද්ගලයා පිළිබඳව විමසීමක් හෝ නොකරන බවක්ය. නමුත් මෙම පුද්ගලයා විසින් හදවතට ගෙන දුන් දරුණු වේදනාව තවදුරටත් හදවතේ රැඳී තිබෙන බවක්ද කියැවෙයි. මේ ආකාරයට ගෙනදුන් හදවතේ වේදනාව “හිත නුහුලනා මතකෙක පැටලී ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ” යන පේළියෙන්ද කියැවෙයි. පුද්ගලයාව තමාගේ මතකයෙන් ඉවත් කළත් දුක්ඛිත මතකය මුළු ජීවිත කාලය පුරාවටම හිඩසක් ඇති කරන බව එසේ ඉස්මතු කර තිබේ.
කෙසේ වුවද ගීතය අවසානයේදී ඉතා ප්‍රබල ප්රකාශනයක් ඉස්මතු කිරීම විශේෂත්වයකි. එනම් “මා දෙපාරක් හමුවන කෙනෙක් නොවේ” යන පේළිය යි. ප්‍රේම සබඳතාවක් හෝ වේවා මිතුරු දමක් හෝ වේවා කුමන හෝ බැඳීමක අවසානයේදී තමාට මෙසේ කිව හැකිනම් මා සිතනා ආකාරයට එය ඉතා විශිෂ්ඨත්වයකි. මන්දයත් ඒ තමාට තමා පිළිබඳව ඉතා දැඩි ආත්ම විශ්වාසයක්, තමාගේ පෞරුෂය තමා විසින් වඩාත් හොඳින් දැන ගැනීමෙන් ඇතිවන ප්‍රබල සිතිවිල්ලකි. ඒ අකාරයට බලන විට නැවතත් කිසිදු අවස්ථාවක එම පුද්ගලයාට තමාගේ ජීවිතේ කිසිම ආකාරයක කිසිදු අවස්ථාවක ඉඩක් නොමැති බවත් කියැවෙයි. තවද මෙසේ තමාට තමා පිළිබඳව ඇති ඉතා දැඩි ආත්ම විශ්වාසයට අනුව තමා තරම් එම පුද්ගලයාට අවංකව, ඉතා දැඩිව ප්‍රේම කරන තවත් පුද්ගලයෙකු නැවත කිසිදා එම පුද්ගලයාට හමු නොවන බවට ඇති ඉතා දැඩි ආත්ම විශ්වාසය නිසා මෙම ප්‍රකාශය බලවත් වේ. එනිසා කුමන හෝ අවස්ථාවක කුමන හෝ සිත් රිදවීමක් අවසානයේදී තමාට මෙම සිතිවිල්ල ඇතිවන්නේ නම් තමා වැනි පෞර්ෂයක් එම පුද්ගලයන්ට යලිදු හමු නොවන බවට හදවත බිඳී ගියත් තමා වැනි එවැනි අවංක පුද්ගලයෙක් ඔවුන්ට නැවත හමු නොවීම කියන්නේම ජීවිතයේ අප ලබන ජයග්‍රහණයක් සහ ඔවුන් ගේ ජීවිතයේ ඔවුන් ලබන ඉතා දැඩි පරාජයක් ද වේ. මේ ආකාරයට මිහිරාන්ගේ මා දෙපාරක් ගීතය හද පත්ලටම මන්ත්‍රණය කරන ගීතයක් ලෙස විචාරය කළ හැකිය.
Image Courtesy :
Cover Image – https://shorturl.at/isZWC